The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ව්‍යාභිචාරි ක්‍රියා‍

T

The Leader Desk

August 28, 2021 • 11:00 AM

ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ව්‍යාභිචාරි ක්‍රියා‍

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නූතන විවාහ නීතියට අනුව ‘‘තහනම් විවාහ’’ හෙවත් ‘‘ව්‍යාභිචාරි විවාහ’’ එසේත් නොමැති නම් ‘‘ව්‍යාභිචාරි ලිංගික ක්‍රියා’’ යනුවෙන් කරුණු ද්විත්වයක් සඳහන්ව තිබේ.
  • ඉහත කරුණු සම්බන්ධයෙන් වූ සදාචාරාත්මක තත්ත්වය සලකා බැලුව ද නොබැලුව ද අදාළ පාර්ශ්ව අතර නීත්‍යනුකුල විවාහ සිදු නොවුණ ද ඔවුනොවුන් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වෙන බව මෙන් ම එකී ලිංගික සම්බන්ධතා හේතුවෙන් දරු උපත් සිදුවී ඇති බව ද නොරහසකි.
  • එබඳු තත්ත්ව බුදුන් වහන්සේ බෝධිසත්වයකු ලෙස පෙරුම් පුරණ කාලයේ දී ද සිදුව ඇති බව ජාතක කතා සංග්‍රහය සාක්ෂි දරයි.
  • ඒ සඳහා ජාතක කතා සංග්‍රහයේ එන: මහාපදුම, සෙග්ගු සහ පණ්ණීක යන ජාතක කතා ත්‍රිත්වයේ එබඳු තත්ත්වයක් පවතී   මහා පදුම ජාතකය මෙම ජාතක කතාවේ එන පරිදි එක් මිනිස් ආත්මයක ඉපිද ඇති බෝධිසත්වයන්ට පදුම කුමරු යනුවෙන් නම් තබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම තත්ත්වයට අදාළවන විවාහ (ලිංගික සබඳතා) මෙලෙස නම් කර ඇත.

· පියා සහ දුව අතර විවාහය

· පුරුෂයා සිය සහෝදරියක සමග විවාහය

· පුරුෂයාගේ හෝ බිරිඳගේ සහෝදරියකගේ හෝ සහෝදරයකුගේ දියණිය සමග විවාහය

· කිසියම් පුරුෂයකුගේ භාර්යාවගේ මවගේ දෙවන විවාහයේ හෝ භාර්යාවකගේ සැමියාගේ දෙවන විවාහයේ දරුවන් සමග විවාහය

· තමා විවාහ වන ස්ත්රි ය තමාගේ: පුතාගේ, මුනුබුරාගේ, පියාගේ හෝ සීයාගේ වැන්දඹුව වන විට

මේ සියලු විවාහ නීත්‍යනුකුල නොවන විවාහ ලෙස නීතියෙන් සම්මත කර ඇති අතර එවැන්නක් සිදු කර ඇත්නම්, ලංකාවේ විවාහ නීතිවලට අනුව ඒ සඳහා සිර දඬුවම් නියම කිරීමට ද පිළිවන.

ඉහත කරුණු සම්බන්ධයෙන් වූ සදාචාරාත්මක තත්ත්වය සලකා බැලුව ද නොබැලුව ද අදාළ පාර්ශ්ව අතර නීත්‍යනුකුල විවාහ සිදු නොවුණ ද ඔවුනොවුන් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වෙන බව මෙන් ම එකී ලිංගික සම්බන්ධතා හේතුවෙන් දරු උපත් සිදුවී ඇති බව ද නොරහසකි. එබඳු තත්ත්ව බුදුන් වහන්සේ බෝධිසත්වයකු ලෙස පෙරුම් පුරණ කාලයේ දී ද සිදුව ඇති බව ජාතක කතා සංග්‍රහය සාක්ෂි දරයි.

අද ජාතක කතා විමර්ශන තුළින් යත්න දරන්නේ එබඳු අවස්ථා කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීම ය. ඒ සඳහා ජාතක කතා සංග්‍රහයේ එන: මහාපදුම, සෙග්ගු සහ පණ්ණීක යන ජාතක කතා ත්‍රිත්වයේ එබඳු තත්ත්වයක් පවතී

 

මහා පදුම ජාතකය

fgdgdfg

මෙම ජාතක කතාවේ එන පරිදි එක් මිනිස් ආත්මයක ඉපිද ඇති බෝධිසත්වයන්ට පදුම කුමරු යනුවෙන් නම් තබා ඇත. ඔහු ඉපදී ටික කලකට පසුව (කොපමණ කලකට පසුව ද යන්න සඳහන් නොවේ.) සිය මෑණියෝ අභාවප්‍රාප්ත වී තිබේ. අනතුරුව ඔහුගේ පියා (බ්‍රහ්මදත්ත රජු) වෙනත් කාන්තාවක විවාහ කරගෙන ඇත.

කාලයාගේ ඇවෑමෙන් රජුගේ පාලන සිමාවේ සොර බියක් පැමිණ ඇත. රජු එම සොරුන් මෙල්ල කිරීම සඳහා යාමට සුදානම් වන මොහොතේ රජුගේ දෙවන බිසව ද ඔහු සමග යන්නට යත්න දරා ඇත. නමුදු රජු එයට අකමැතිව ඇගේ තනියට පදුම කුමරු සිටින්නේ යැයි පවසා, අවශ්‍ය යමක් ඇත්නම් ඔහුට දන්වන ලෙස පවසා ඔහුට තාවකාලිකව පාලනය ද බාර දී අදාළ කටයුත්ත සඳහා පිටත්ව ගොස් ඇත.

වැඩි කලක් යාමට මත්තෙන් රජු ඇතුළු පිරිස සොරුන් මෙල්ල කර යළි පැමිණ නුවර ආන්නයේ ම කඳවුරුලාගෙන ඇත. මෙය සැලවූ පදුම කුමරු රජු පිළිගන්නා අටියෙන් සමස්ත නුවර ම සරසන්නැයි ඒ ඒ අමාත්‍යවරුන්ට දන්වා රජ මාලිගාවට ද ගොස් එහි අඩුපාඩු ද සොයාබලමින් රජබිසව හෙවත් සිය කුඩම්මාගේ කුටියට ද ගොස් ඇත. ඉක්බිති කුමරා සිය කුඩම්මාගෙන් ඇගේ අඩුපාඩු මොනවා දැයි විමසා ඇත.

මේ මොහොතේ පදුම කුමරා කෙරෙහි සිතක් පහළ වූ රජ බිසව ‘‘නුඹ මට අම්මා කියන්නේ මන්ද?’’ යැයි අසා ‘‘පැමිණ මෙහි අසුන් ගන්නැයි’’ පවසා ඇගේ සිරි යහන පෙන්වා ඇත.

එවිට පදුම කුමරා පවසා ඇත්තේ ‘‘නුඹ මගේ කුඩම්මා ද, මගේ පියාගේ බිරිඳ ද වන නිසා මට නුඹ මෑණියන් ම ය. එබැවින් මා කිසිදු අනාචාරයක නොයෙදෙන්නේ ය.’’ යනුවෙනි. ජාතක කතාකරුවා එකී අවස්ථාව මෙලෙස සඳහන් කරයි.

‘‘...අගමෙහෙසුන් බිසවුන් වහන්සේ ඉඳිනාගෙට ගොස් වැඳලා සිටියාවු මෑණියන් වහන්සේගේ පාසු අපාසු කිම්දැයි විචාළාසේක. බිසව් පදුම කුමාරයන් දැක පිළිබඳ සිත් ඇතිව මට ඇම්මැයි කියාද කියන්නේ යයි මෙසේ අවුත් යානමත්තේ වැදහිඳූමයි කීහ.

පදුම කුමාරයෝ කියන සේක් මෑණියන් වහන්ස කටයුතු දන්නා තැන් පටන් අන් ස්ත්‍රියකට කෙලෙස් වසයෙන් මුනමැළු විරූත් නැත නුඹ වහන්සේ මාගේ මෑණියන් වහන්සේ ය. පියාණන් වහන්සේගේ බිසවුන් වහන්සේ හෙයිනුත් මෑණියන් වහන්සේය, එසේ හෙයින් නුඹ වහන්සේගේ කෙතෙක් කිවත් මම එසේ වූ අනාචාරය කරන්නේ නැතැයි කීහ.’’

පදුම කුමරා සිය වසඟයට ගැනීමට නොහැකි වු බිසව එතැන් සිට ඔහුට වෛර කරන්නට පෙලඹෙන්නී ය. එමතු නොව රජතුමා ලවා කුමරුගේ හිස ගස්සවා දමන බවට ද තර්ජනය කරන්නී ය.

‘‘බිසව් බොහෝ යාච්ඥා කළාහ. කෙතෙක් යාච්ඥා කළත් නුඹ වහන්සේ හා අනාචාරයට මා යෙදෙන්නේ නැතැයි කීහ. බිසවු කියන්නාහු මා කරා තොප නොකළ පසු රජ්ජුරුවන් වහන්සේට කියා ඉස කප්පාලමි කීහ.’’

අනතුරුව පදුම කුමරා රජ බිසවට කැමති දෙයැක් කරන්නැයි අභියෝග කර එනුවරින් පලා ගොස් ඇත. මෙය සැලවූ වහාම බිසව සිය මායම් ක්‍රියාත්මක කර ඇත. ජාතක කතාකරුවා එය මෙසේ පවසයි.

‘‘තමන්ගේ ඇඟ තබා ප්‍රහාරයකට තෙල් ගල්වා කිළුටු කඩක් ඇදගෙණ වැදහෙව රජ්ජුරුවන් වහන්සේ මා විචාළ සේක් වී නම් ලෙඩට වැද හෝනා සේකැයි කියවයි අන්තඃපුර වාසීන්ට උගන්වා වැදහොත්තාහ.’’

රජු පැමිණ බිසව සොයන මොහොතේ ඇය අසනීපව සිටින බව සැලවිය. රජු වහාම බිසව බලන්නට ගිය විට ඇය මෙසේ පවසන්නී ය.

‘‘රජ්ජුරුවෝත් බිසවුන් ඉන්නා ගෙට ගොස් යානාපිට ඉඳ තොපට අපාසු කිම්දැයි, බිසව් බැන නොනැගී වැදහෙව කියන්නාහු සස්වාමික කෙණෙක් වීනම් මෙසේ ඉඳමෝද අපට ස්වාමිකෙනෙක් ඇද්ද නුඹ වහන්සේ ඇති නියාව දන්නේ දුටුවිට යයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු ඇයි තොපට ගහටකළෝ කවුරුදැයි කීහ. අනික් කවුරුද නුඹ වහන්සේ මේ නුවර රැකවලට රඳවා ගියෝ කාදැයි විචාළාහ.ප දුම කුමාරයෝයයි කීහ. එසේ විනම් තමන් කිවාම නොකළහයි කියා මාගේ ඇඟ පත නසා ඉසකේපත අල්වා ඈත මැත ඇද කල ගහටයෙ විවර කියන පාමනේ ඇද්දැයි කීහ.’’

මෙය අසා බොහෝ සේ කිපුණු රජු වහාම කුමාරයා අල්ලාගෙන එන ලෙස රාජ පුරුෂයන්ට අණ කර ඇත. රාජ පුරුෂයෝ ද රජ අණ අනුව කුමරා අල්ලාගෙන පැමිණ ඇත. අනතුරුව රජු අණ කර ඇත්තේ කුමරු ප්‍රපාතයෙන් පහළට හෙලන ලෙස ය.

නමුදු කුමරා පවසා සිටියේ තමා කිසිදු වරදක් නොකළ බව යි. එමෙන් ම ස්ත්‍රියකගේ බස් අසා මෙලෙස අනුවන ක්‍රියා නොකරන්නැයි ද පවසා ඇත. රජු එය නොඅසා සිටින විට අන්තඃපුර කාන්තාවෝ සහ අමාත්‍යවරු ද කරුණු පැහැදිලි කර දී ඇත. නමුදු රජු එබස් නොඅසා කුමරු පර්වතයෙන් පහළට හෙළා ඇත. එසේ කළ ද කුමරුට කිසිදු අනතුරක් සිදුව නැත. එකී සිදුවීම ජාතක කතාකරුවා මෙලෙස සඳහන් කර ඇත.

‘‘ඒ පර්වතයේ වාසය කරන්නාවු දේවතාවා ‘පදුම කුමාරයෙනි තොපි නොබවයි’ කියා පියාන කෙණෙකුන් පුතනු කෙණෙකුන් වඩන්නාසේ ලෙයිලා වඩාගෙණ පර්වතයේ ඉඳිනා නාරජ්ජුරුවන් පෙන ගබ මත්තේ තුබූහ. ඒ නාගරාජයාත් පදුම කුමාරයන් නාග භවනයට ගෙණගොස් රාජ්‍යය සරියේ බෙදාදී අවුරුද්දක් රාජ්‍යයකොට සිතන්නාහු මෙතන ඉඳ කාරිය කිම්දැයි සිතා මනුෂ්‍ය පථයට යෙහි කීහ.’’

පසු කලෙක දී රජු නැවත කුමරා රාජ්‍යයට කැඳවා රජකම ද පවරා ඇති බව ජාතක කතාකරුවා සඳහන් කර ඇත.

මෙම ජාතක කතාවට අනුව ව්‍යාභිචාරි ක්‍රියාවක් සදහා කුමරා පොලඹවාගන්නට යත්න දරා ඇත්තේ කුමරගේ සුළු මව හෙවත් කුඩම්මා ය. වර්තමානයේ මෙබඳු සබඳතා නීතියෙන් දඬුවම් ලබන තත්ත්වයට පත් කර තිබුණ ද එබඳු සබඳතා අනන්තවත් පවතින බවට අවැසි තරම් සාක්ෂි සැපයිය හැකි ය. එමෙන් ම මවගේ දෙවන සැමියා හෝ අනියම් සැමියකු විසින් අතවරයට ලක්කරන ලද තරුණියන් පිළිබඳව ද අනන්තවත් අසන්නට ලැබී තිබේ; කියවන්නට ලැබී ඇත.

 

සෙග්ගු ජාතකය

segga

මෙම ජාතක කතාවට අනුව බෝධි සත්වයෝ එක් ආත්මයක වෘක්ෂ දේවතාවක්ව ඉපිද වනයේ වාසය කර ඇත. මෙකල සිටි එක්තරා ධනවත් පුද්ගලයෙක් සිය රූමත් දියණියගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්නට සිතා ඇය වනලැහැබකට ඇදගෙන ගොස් ඇයට අතවර කරන්නට සූදානම්වන මොහොතේ බියපත් වූ දියණිය හඬා ඇත. එවිට මේ සිටුවරයා පවසා ඇත්තේ ‘‘නුම කන්‍යාවක් නම් කුමට බියපත් වන්නේද?’’ යනුවෙනි.

‘‘එක්තරා කෙළඹිපුත්‍රයෙක් තමාගේ දුව විශිෂ්ටවූ රූ ඇති සඳහාත් භාවභාවලීලාකටාක්‍ෂයෙන් තමාට සැක උපන් හෙයින් මේ කන්‍යාස්ත්‍රීය නොවේදෝහෝයි පරීක්ෂාකරන්නට උවමැනවයි සිතා දුව අත අල්වාගෙණ වනාන්තරයට ගොස් කෙලෙස් වසඟව අත ඇල්ලුවාසේ ඇඟවිය. එවිට දූ භයින්ම අඬන්නට වන, එවිට පියා මේ වංචාවෙන් අඬති සිතා කුමක්ද පංචකාම විෂය නම් කාටත් සරිය එසේහෙයින් තොපි කන්‍යාස්ත්‍රිය නොවුනම් අඬන්නේ ඇයිදැයි කීහ.’’

එවිට දියණිය මෙසේ පවසා ඇත.

‘‘පියාණන් වහන්ස මම එසේවූ පංචකාම රසවිඳිනා සැටියක අනහ්‍යසයෙහි. අඬන්නී මම දුක්ඛයක් පැමිණි වේලේ ප්‍රතිෂ්ඨාව සිටිනාවූ දෙමව්පියන් විසින් පැමිණි දුක්ඛය කාට කියම්ද?’’

දියණිය මෙලෙස පැවසීමෙන් ඉක්බිතිව සිටුවරයා පියවි සිහියට පැමිණ ඇති බව මෙම ජාතක කතාව කියවීමේ දී හැඟී යයි. ඒ මොහොතේ එම තරුණිය අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කළ බැවින් සිය පියාගේ ගොදුරක් නොවී සිටින්නට හැකියාව ලැබී ඇත.

 

පණ්ණික ජාතකය

dfdfr

මෙම ජාතක කතාවේ ද සඳහන් වන්නේ පෙර කී (සෙග්ගු ජාතකය) ජාතක කතාවට ම සමාන කතාවකි. එහි සිද්ධිය ද පෙර ජාතක කතාවේ සඳහන් සිද්ධිය ම වන අතර නම් ගම් පමණක් වෙනස් ය. ඊට අමතරව සෙග්ගු ජාතකයේ අතීත කතාවේ අපයෝජකයා සිටුවරයකු වන අතර වර්තමාන කතාවේ අපයෝජකයා උපාසකවරයෙකි. ඇතැම් විට මෙම කතා ද්විත්වය ම එකක් වන්නට බොහෝ සෙයින් ඉඩ තිබිය හැකි ය.

ජාතක කතාකරුවා මේ ආකාරයට ව්‍යාභිචාරය පිළිබඳව යම් යම් අනාවරණ සපයා තිබිය දී ග්‍රීක සාහිත්‍යයේ එන ඊඩිපස් කතාව ද ව්‍යාභිචාරි ක්‍රියාවකට සමපාත ය. නමුදු එහි මව හෝ පුතු ඔවුනොවුන් හඳුනාගන්නේ පසුව ය. එනම් ඔවුන් දෙදෙනා ලිංගික සම්භෝගයේ යෙදෙන අවධියේ ඔවුනොවුන් මව සහ පුතු බව හඳුනාගෙන නොසිටියහ.

සිංහල සාහිත්‍ය කෘති කිහිපයක ම මෙබඳු සිදුවීම් අන්තර්ගත ය. ඒ අතුරෙන් ගුණදාස අමරසේකර විසින් රචිත යළි ‘‘උපන්නෙමි’’ සහ ‘‘කරුමක්කාරයෝ’’ ප්‍රමුඛ කෘති ද්විත්වයක් ලෙස සැලකිය හැකි ය. ‘‘යළි උපන්නෙමි’’ කෘතියේ පුතු මව කෙරෙහි ආශක්ත වන අතර ‘‘කරුමක්කාරයෝ’’ කෘතියේ පුරුෂයෙකු ලිංගික සම්භෝගයේ යෙදෙන්නේ සිය පුතුගේ බිරිඳ සමග ය.

මීට අමතරව රත්නායක තිලකරත්න විසින් රචිත ‘‘සිතුමිණ අඩවිය’’ කෘතියේ ද පුතු විසින් මව අපයෝජනයට ලක් කරන සිදුවීමක් අන්තර්ගත ය. කැතලින් ජයවර්ධනගේ ‘‘වැල් පාලම’’ කෘතියේ සහ ‘‘සන්තර්පණය’’ කෘතියේ ද මෙවැනි සිදුවිමක් අන්තර්ගත ය. තව ද සෝමා ජයකොඩිගේ ‘‘බලවත්තු සහ බවලත්තු’’ කෘතියේ මෙන් ම අනුර වික්‍රමසිංහගේ ‘‘පුරුෂඃපුර’’ කෘතියේ මව සහ පුතු අතර ලිංගික සබඳතාවක් පවතින සිද්ධියක් සහ ‘‘රත නොරත රති’’ කෘතියේ පියා සහ දියණිය අතර ලිංගික සම්භෝගික අවස්ථාවක් අන්තර්ගත ය. ‘‘පුරුෂඃපුර’’ කෘතියේ ද ඊඩිපස් කතාවේ මෙන් පුතු සහ මව ඔවුනොවුන් හඳුනාගෙන නොසිටි අතර ‘‘සන්තර්පණය’’ සහ ‘‘බලවත්තු සහ බවලත්තු’’ නිර්මාණය ද එලෙස ය.

Jayasiri Alawaththa
 
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක 
 
2021/08/27

 

 

 

සබැඳි කියවන්න :
 
 
 
 
  
 
 
 
 
 

 
THELEADER TV
 

ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද?

 
මංගල අපි හැමෝගෙමයි ‍ | ක්‍රිෂාන්ත කුරේ
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...