1200 x 80 DMirror
 
 

‘සොරකම’ වර්ග කිහිපයකට වෙන් කළ හැකි ය.
 
 
01.  හිතා මතා, සැලසුම්සහගතව කරන සොරකම.
 
02.  යම් වස්තුවක් හෝ මුදලක් දුටු විගස ඇතිවන ආශාවෙන් කරන සොරකම.
 
03.  යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ බලපෑම මත සිදුකරන සොරකම.
 
04.  කුසගින්න නිවාගැනීම හෝ ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් ම කරන සොරකම.
 
 
මේ කුමනාකාරයේ සොරකමක් වුව ද වැරැද්දකි; නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. 
 
නමුදු ඇතැම් සොරකම් යනු සොරකම කළ පුද්ගලයා පත්ව ඇති තත්ත්වය අනුව කළ හැකි අන් කිසිවක් ම නොමැති බැවින් කරන සොරකමකි. 
 
Manuthapaya
 
සාහිත්‍ය යේ මීට සැපයෙන කදිම නිදසුන නම් මනුතාපය කතාවේ එන ජනවර්ජන ය. ඔහු පාන් ගෙඩියක් සොරකම් කළේ සිය සොයුරියගේ දරුවන්ගේ කුසගින්න නිවාලීම පිණිස ය. නමුදු අවාසනාවකට ඔහු කළ සොරකම අසුවේ. ඉක්බිති ඔහුට සොරකමට අදාළව සිර දඬුවමක් විඳින්නට සිදුවේ. එමතු නොව ඔහු සිරගෙදරින් නිදහස් වන්නේ ද බරපතළ අපරාධකාරයකු ලෙස නාමකරණය වෙමිනි.
 
ජනවර්ජන කළ සොරකම සේ ම අප රටේ ද ඇතැම් කුඩා ම සොරකමක් සඳහා ලක්ෂ ගණනින් ඇප නියම කර මහවුරු ගෙදරට ද යවයි. ඒ සමග ම මහා පරිමාණයේ සොරකම් කළ වුන් නිදොස් කර නිදහස් කෙරේ. 
 
අනෙක් පසින් ගත් විට අපේ රටේ ඇතැම් ප්‍රධාන පුරවැසියෝ ද සුවිසල් ගණයේ සොරු ය. ඔවුහු මහා බෞද්ධයෝ වෙති; මහා කළු සිංහලයෝ වෙති. එහෙත් සොරු ය. එක් පසෙකින් එය එසේ වීම ද අරුමයක් නොවේ. මන්ද සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුබව ලැබූ බෝධිසත්වයෝ ද එක් එක් ආත්මවල දී සොරකමෙහි යෙදී ඇති බව ජාතක කතාකරුවා පවසයි. 
 
 
‘‘සතපත්‍ර ජාතකය’’ 
 
 
එමතු නොව ඇතැම් ජාතක කතාවක දැක්වෙන පරිදි අප මහා බෝසතණෝ බෝධිසත්ව සමයේ දී සොර නායකත්වය දරා ඇති බව ද ජාතක කතාකරුවා පවසයි. ඊට කදිම නිදසුනක් සපයන්නේ ‘‘සතපත්‍ර ජාතකය’’ යි. එහි දී ජාතක කතාකරුවා මෙසේ පවසයි.
 
‘‘යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් වනාන්තරයක පන්සියයක් සොරුන්ට නායකව සොරදෙටුව වාසය කරන්නාහ’’
 
අද ජාතක කතා විමර්ශන තුළින් සාකච්ඡා කෙරෙන්නේ කිසිදු ආකාරයකින් සොරකමක් කිරීමට මතු නොව එබඳු අදහසක් සිහිනෙන්වත් සිතෙහි සටහන් කර නොගත් පුද්ගලයෙකු, සිය බිරිඳගේ පෙලඹවීම මත, ඇය සනහනු වස් සොරකමක් කිරීමට ගොස් එය රාජපුරුෂයන්ට හසු වී අනතුරුව ඔහු දඬුවමට ද ලක්ව අපාගතවන ආකාරය යි.
  
මෙහි දී අදාළ ප්‍රස්තුතයට පිවිසීමට ප්‍රථම වර්තමානයේ ද එබඳු බිරින්දෑවරු සිටින බව සිහිපත් කළ යුතුය. 
 
අසල්වැසි නිවසකට කිසියම් භාණ්ඩයක් රැගෙන ආවිට එය තම නිවසට ද අවැසි බව පවසමින් සැමියාට පීඩා ගෙන දෙන්නී එබඳු බිරින්දෑවරු ය. එකී භාණ්ඩය සෙල් ෆෝනයේ සිට රථවාහන, ඉඩකඩම් මතු නොව සුව පහසු නිවාස දක්වා දීර්ඝ විය හැකි ය. 
 
ඇතැම් විටෙක දරුවා ජාත්‍යන්තර පාසලකට (International School) ඇතුළත් කිරීම ද මෙයට අයත් විය හැකි ය. 
 
ඇතැම් රාජ්‍ය සේවකයෝ ද, පුද්ගලික ආයතනවල සේවකයෝ ද, දේශපාලකයෝ ද සොරකමට පොලඹවා ඇත්තේ ඔවුන්ගේ බිරින්දෑවරු බව රහස් නොවේ. 
 
ඔවුන්ගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී හෙළිවන ප්‍රධාන ම කරුණ වන්නේ ඔවුන් සොරකමට පොලඹවා ඇත්තේ සිය බිරින්දෑවරු බවයි.
 
 
 
‘‘විතීය පුෂ්පරත්න ජාතක කතාව’’ 
 
එසේ වුව ද ‘සොරකම’ යනු ‘සොරකම ම’ බව යළි අවධාරණය කර, නිරපරාදේ සොරෙකු බවට පත්ව, රාජ උදහසට ලක්ව, අවසන අපාගත වූ පුද්ගලයෙක් පිළිබඳව ජාතක කතාකරුවා මෙසේ හෙළි කරන්නේ ‘‘විතීය පුෂ්පරත්න ජාතක කතාව’’ තුළිනි. පළමුව ජාතක කතාවේ සාරාංශය වෙත යොමු වෙමු.
 
බුදුන් වහන්සේ මෙම ජාතක කතාව වදාරන්නේ අපේක්ෂාභංගත්වයට පත් භික්ෂුවක් වෙත බව ජාතක කතාකරුවා පවසයි.
 
බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කාලයේ අප මහා බෝසතාණෝ ආකාශස්ථ (අහසේ ජීවත්වන) දේවතාවක ලෙස වැඩවාසය කර ඇත. 
 
එකල පැවති කාර්තික උත්සවය (ඇසළ මස පැවැත්වෙන කාමොත්සවය) සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටි දුප්පත් සැමියෙක් තමා සතුව පැවති හොඳ ම ඇඳුම හොඳින් සෝදා, මැද ප්‍රවේශම් කර තබා ඇත. උත්සවය පැවති දිනයේ ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ වනුක් මල් පැහයෙන් (හෙන්දිරික්කා මල් පාට) යුත් ඇඳුමකින් සැරසී උත්සවයට සහභාගිවන්නට ඇය කැමැත්තෙන් සිටින බවයි. 
 
එවිට සැමියා පවසා ඇත්තේ ඔහු සතුව වනුක් මල් පැහැයෙන් යුත් ඇඳුමක් නොමැති බවයි. නමුදු ඔහු කල් තබා සෝදා, මැද, ප්‍රවේශම් කර තිබූ සුදු ඇඳුමක් ඇති බව සිය බිරිඳට පවසා ඇත.
 
නමුදු බිරිඳට අවශ්‍ය වී ඇත්තේ වනුක් මල් පැහැයෙන් යුත් ඇඳුමකි. ඇය පවසන්නි එබඳු පැහැයකින් යුත් ඇඳුමක් නොලැබෙන්නේ නම් උත්සවයට සහභාගි නෙවෙන බවයි. එමතු නොව ඇය සිය සැමියාට පවසන්නී සුදු ඇඳුම ඇඳගෙන උත්සවයට සහභාගි වන්නේ නම් තමා හැර වෙනත් කාන්තාවක සමග උත්සවයට සහභාගි වන ලෙසයි.
 
මේ ස්ත්‍රිය කෙතරම් ආත්මාර්ථකාමි ද යත් ‘‘පිරිමින්ට හිතුවොත් මොනව ද කරන්න බැරි?’’ යැයි ඇය සිය සැමියාට පවසන්නී ය. 
 
එවිට කල්පනාභරිතව සිටින සැමියා වෙත පැමිණි බිරිඳ ‘‘ඒක ඔච්චර කල්පනා කරන්න දෙයක් නෙවෙයි. රජ්ජුරුවන්ගෙ වනුක් මල් උයනට ගිහින් ඒකෙන් මල් ටිකක් කඩාගෙන ඇවිත් පාට කරානම් ඉවරනෙ’’ යැයි පවසන්නී ය.
 
එවිට සැමියා ‘‘රජතුමාගෙ උයනෙන් මල් කඩන්න තියා ඒ දිහා ඔළුව අස්සල බලන්නවත් බෑ. රාජ පුරුෂයො ඇහැගහගෙන ඉන්නෙ.’’ යැයි පවසා බැගැපත් විය.
 
නමුදු සැමියාගේ බහට අවනත නොවුණු මේ නොහික්මුණු බිරිඳ ‘‘රාජ පුරුෂයො ඉන්නෙ දවාලටනෙ. ටිකක් රෑවෙලා යනව. ගිහින් මල් ටිකක් කඩාගෙන එනව’’ යයි සිය සැමියාට පවසන්නී ය.
 
අවසන සිය බිරිඳගේ කන්දොස්කිරියාවෙන් ගැලවීගත නොවුණු මේ අවිහිංසක මිනිසා සිවු දිසාවෙන් අඳුර ගලා එන මොහොතේ හොර රහසේ ම රජතුමාගේ උයනට ඇතුළු විය. නමුදු උත්සවය නැරඹීමට පැමිණි පිරිස මෙය දැක වහා උයනට පැමිණ මොහුට පහර දී, අත්, පා බැඳ උයනෙහි හිඳුවා රාජ පුරුෂයන්ට සැල කළහ.
 
රාජ පුරුෂයෝ පැමිණ මේ මිනිසා රැගෙන ගොස් සිර කරගෙන තබා පසු දින උදෙන්ම රජතුමා ඉදිරියට පැමිණවූහ. රජතුමා ද මිනිසාගෙන් නිදහසට කරුණු කිසිවක් ම නොවිමසා ‘‘මූ ආවෙ හොරෙන් මල් කඩන්න නං මට පෙන්නන්නෙ මොකටද...? ගිහිං උල තියාපියව්’’ යැයි අණ කළේ ය.
 
රාජපුරුෂයෝ ද රජ අණ අකුරට ම ඉටු කරමින්, සොරකම් කිරීමක් පිළිබඳ සිහිනෙන් හෝ නොසිතු, එහෙත් ලද දෙයින් සතුටට පත් නොවන බිරිඳකගේ වුවමනා සපුරන්නට සුදානම් වූ මේ අවිහිංසක මිනිසාට: වද මල් පලඳා, වද බෙර වයමින්, ප්‍රසිද්ධියේ ම රැගෙන ගොස් උල තැබූහ. මරණ වේදනාවෙන් පෙළෙන මෙහොතේ තමා සොරකමක් කිරිමට උත්සාහ කළා නේද යන අදහස පෙරදැරිව මිය ගිය මිනිසා අවිචි මහා නරකාදි ගතවිය.
 
ජාතක කතාකරුවා පවසන පරිදි එසමයේ බෝධිසත්වයෝ ආකාශස්ථ (අහසේ ජීවත්වන) දේවතාවක ලෙස මේ සියල්ල බලා සිට ඇත.
 
ජාතක කතා බහුතරයක් ම හුදු ජාතක කතා නොව මිනිස් ජීවිතයේ සියලු යහපත් දේ මෙන් ම සියලු දුර්වලතා ද විදහා දක්වන කැඩපතක් වැන්න. දුවන්නන් වාලේ නොදුවමින්, තම තමන්ට ලැබෙන ප්‍රමාණයට අනුව ජීවිතය සකස් කරගැනීම කෙතරම් සුවදායක ද යන්න මෙම කතාව අපිට පැහැදිලි කරන්නේ ය. 
  
එමෙන් ම ‘පිරිමියා’ සහ ‘ගැහැනිය’ ලෙස වර්ගිකරණය කර තිබීමේ සහ පිරිමියා ගැහැනියට වඩා උසස් යැයි හෝ පිරිමියා යනු සිය පිරිමිකම ප්‍රදර්ශනය කළ යුතු, ප්‍රකට කළ යුතු ජීවියෙකි යන්න සමාජයේ තහවුරූ වී ඇති බැවින් මොන යම් ක්‍රමයකින් හෝ එය රැකගත යුතුය යනුවෙන් ගැහැනු පිරිමි දෙපක්ෂය ම දරන ආකල්පය හේතුවෙන් පිරිමියා අපහසුතාවට පත්වන ආකාරය ද මෙමගින් පිළිබිඹු කෙරේ.
 
මෙම කතාව කියවීමෙන් ඉක්බිති වර්තමානයේ ද ජීවත්වන මෙබඳු බිරින්දැවරු කිසියම් පාඩමක් ඉගෙන ගන්නේ නම් මැනවි යැයි සිතුණු බැවින් මම අද මේ විමර්ශනය ඉදිරිපත් කළෙමි. එය නූතන ‘රූපවාහිනී නළු බණ’ අසනවාට වඩා ප්‍රයෝජනවත් වනු ඇතැයි ද විශ්වාස කරමි.
 
 
Jayasiri Alawaththaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 2021/05/14  
 
 
 
 
ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන:
 
 
 
 
 
 
 
 
 
 

 

 


 

THE LEADER TV 

 

ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක්

 

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!

  

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58