1200 x 80 DMirror
 
 

 ‘ළමා අපයෝජනය’ යනු හුදෙක් ළමයෙකු හට ලිංගික බලහත්කාරයක් කිරීම හෝ එවන් කර්තව්‍යයක් සඳහා ළමයකු පොලඹවා ගැනීම පමණක් ය යන්න බොහෝ අය විශ්වාස කරති. 
නමුදු ළමා අපයෝජනයක් එබඳු කර්තව්‍යයක් පමණක් ම නොවේ. ඔහුට හෝ ඇයට අසමාන ලෙස සැලකීම, වෙනස් ලෙස සැලකීම යනාදිය ද ‘ළමා අපයෝජන’ ලෙස සැලකේ.
 
අද ජාතක කතා විමර්ශන ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ‘ළමා අපයෝජන’ පිළිබඳ ජාතක කතා පොතේ සඳහන් කතා අතුරෙන් එක් කතාවක් පාදක කරගත් විමර්ශනයකි.
 
මෙම සිද්ධිය අන්තර්ගත වන්නේ 'තිප්පල්ලත්ථිමිග' ජාතකයේ ය. 
 
සාම්ප්‍රදායික ලෙස ජාතක කතා විමර්ශනයට ලක් කරන්නේ නම් මෙම කතාව තුළින් උකහාගත හැකි වන්නේ ළමා අපයෝජන සිද්ධියක් සහ සාමණේර භික්ෂුවකගේ ශික්ෂාකාමිත්වය පිළිබඳ පමණක් වුව ද ජාතක කතාකරුවාගේ ම දෘෂ්ටියට අනුව මෙම කතකාවේ යට කී සන්දර්භ ද්විත්වය අභිභවන සිද්ධි කිහිපයක් ද පවතින බව මට හැඟුණි.
 
 
 
බුදුන් වහන්සේ කොසඹෑ නුවර බදරිකාරාමයෙහි වැඩවාසය කරන සමයේ දී උන්වහන්සේ විසින් මෙම කතාව දෙසා වදාරනු ලැබ ඇත්තේ උන්වහන්සේගේ ම පුත්‍ර රත්නය වූ රාහුල සාමණේර වහන්සේ උදෙසා වීම තවත් සුවිශේෂී ය. 
 
 
එය විමසා බැලීමට ප්‍රථම ජාතක කතාවේ සංක්ෂිප්තය වෙත අවධානය යොමු කරමු.
 
එක් සමයක බුදුන් වහන්සේ අලව් නමැති නුවර අග්ගාළව නම් වූ දේවාලයක වැඩ වාසය කර ඇත. එසමයේ බුදුන් වහන්සේගෙන් බණ ඇසීම පිණිස දහවල් කාලයේ උවැසියෝ මෙන්ම භික්ෂූණිහු ද එහි ගොස් ඇත. 
 
කලක් ගතවන විට මේ උවැසියෝ මෙන් ම භික්ෂුණීහු ද දහවල් කාලයේ බණ ඇසීම සඳහා පැමිණීම නතර කර ඇත. එතැන් සිට බණ දෙසුම පත්වා ඇත්තේ රාත්‍රී කාලයේ දී ය.
 
බණ දේශනය අවසන් වූ පසු වැඩිමහල් භික්ෂූහු තම තමන්ගේ කුටිවලට වැද සැතපී ඇති අතර බාල භික්ෂුහු හෙවත් සාමණේර වහන්සේලා උපාසකයන් සමග භෝජන ශාලාවේ සැතපී ඇත. 
 
මෙසේ නිදන ඇතැම් උපාසකයෝ නින්දෙන් ම ගොරවා ඇත; තවත් කෙනෙකුන් හෝ කිහිප දෙනෙකු නින්දෙන් ම කහින්නට පටන්ගෙන ඇත. තවත් අය දත්මිටි කන්නට පුරුදුව සිට ඇත. තවත් සමහර අය ටික වේලාවක් නිදා සිට අවදි වී යළිත් නිදාගෙන ඇත. 
 
මෙම ක්‍රියාදාමය සාමණේර භික්ෂූන් වහන්සේලාට බාධාවක්ව පැවති හෙයින් භික්ෂූහු මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේට පැමිණිලි කර ඇත. 
 
 
 
 
එම පැමිණිල්ල හේතුවෙන් බුදුන් වහන්සේ විනය නීතියක් පනවා ඇත. එනම්, කිසියම් භික්ෂුවක් උපසම්පදා නොවූ භික්ෂුවක් සමග එක කුටියෙහි වසන්නේ නම් එය වරදකි යන්න ය.
 
 
 
මෙම ශික්ෂා පදය පනවන්නට ප්‍රථම බුදුන් වහන්සේගේ ම පුත්‍ර රත්නය වූ රාහුල සාමණේරයෝ සැතපී ඇත්තේ වැඩිමහල් භික්ෂූන් සමග ය. නමුදු මෙම ශික්ෂාපදය පැනවීමෙන් ඉක්බිති වැඩිමහල් භික්ෂූහු රාහුල සාමණේර වහන්සේ වෙත තම කුටියේ සැතපෙන්නට දී තිබූ අවස්ථාව අහිමි කර ඇත. 
 
ඒ රාහුල සාමණේරයන් වහන්සේගේ ම පියාණන් වන බුදුන් වහන්සේ විසින් පනවන ලද විනය නීතිය හේතුවෙන් බව උන්වහන්සේලා රාහුල සාමනේර හිමි හට පැහැදිලි කර දී ඇත.
 
වැඩිමහල් භික්ෂූන් වහන්සේලා විසින් රාහුල සාමණේර හිමිට සැතපීම සඳහා අවකාශ ලබා නොදීමෙන් ඉක්බිති උන්වහන්සේ එදින සැතපී ඇත්තේ බුදුන් වහන්සේගේ වැසිකිළියේ ය. 
 
පසුදින බුදුන් වහන්සේ වැසිකිළියට වඩින විට එතුළ කිසිවකු සිටින බව හැඟී උගුර පාදා ඇත. ඊට පිළිතුරු ලෙස රාහුල සාමණේර වහන්සේ ද වැසිකිළිය තුළ සිට උගුර පාදා ඇත. ඉක්බිති බුදුන් වහන්සේ, උන්වහන්සේගේ වැසිකිළියේ සිටින්නේ කවුදැයි විමසා ඇත. එවිට ‘ස්වාමිනි මම රාහුල’ යැයි රාහුල සාමණේර වහන්සේ පිළිවදන් සපයා ඇත. 
 
එසේ වැසිකිළියේ වැඩ සිටියේ මන්දැයි බුදුන් වහන්සේ විමසා ඇත. එවිට රාහුල සාමණේර වහන්සේ පෙර දින සිදුවූ සියල්ල බුදුන් වහන්සේ වෙත පවසා ඇත. එවිට උන්වහන්සේට රාහුල සාමණේර වහන්සේ කෙරෙහි සංවේගයක් ඉපිද ඇත. ක්ෂණිකව ම ක්‍රියාත්මක වූ බුදුන් වහන්සේ වහාම භික්ෂූන් වහන්සේලා රැස් කරවා ඇත.
 
භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේ ඉදිරියට පැමිණි පසු උන්වහන්සේ ශාරිපුත්‍ර භික්ෂුන් වහන්සේ අමතා විමසා ඇත්තේ ‘ඊයේ රාත්‍රියේ රාහුල හිමි සැතපි ඇත්තේ කොතැනදැයි දන්නවා ද?’ යනුවෙනි. එවිට උන්වහන්සේ පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ම නොදන්නා බවයි. 
 
එවිට බුදුන් වහන්සේ පවසා ඇත්තේ රාහුල සාමණේර වහන්සේ පෙර දිනයේ වැඩ වාසය කර ඇත්තේ බුදුන්වහන්සේගේ වැසිකිළියේ බවයි. ඒ සමග ම බුදුන් වහන්සේ විමසා ඇත්තේ රාහුල සාමණේර වහන්සේට එවන් අකටයුත්තක් සිදුවූයේ නම් ශාසනයේ මහණ වන අනෙකුත් කුලදරුවන් කුමන තත්ත්වයකට පත්වේ ද යන්න ය.
 
 
 
 
අනතුරුව බුදුන් වහන්සේ පෙර දිනයේ පැනවූ විනය නීතිය වහා ම වෙනස් කර ඇත. එනම්, පෙර දිනයේ පැනවූ ‘කිසියම් භික්ෂුවක් උපසම්පදා නොවූ භික්ෂුවක් සමග එක කුටියෙහි වසන්නේ නම් එය වරදක් ය’ යන්න ‘මෙතැන් සිට උපසම්පදා නොවූ සාමණේර වහන්සේලා දවසක් හෝ දෙකක් වැඩිමහල් භික්ෂුන් සමග වාසය කිරීම අකැප නොවන බවත් දින දෙක තුනකින් පසු එනම් තුන්වන දින සිට පිටත වාසය කරන ලෙසත්’ යනුවෙනි.
 
අනතුරුව දම්සභා මණ්ඩපයේ භික්ෂූහු රාහුල හිමියන්ගේ ශික්ෂාකාමී ගුණ වණන මොහොතේ බුදුන් වහන්සේ දෙසා වදාරා ඇත්තේ රාහුල හිමියෝ පෙර භවයක තිරිසන් භවයක ඉපිද සිටිය දී ද ශික්ෂාකාමී දිවි පෙවෙතක් ගතකර ඇති බවයි.
 
මේ අවස්ථාවේ දී බුදුන් වහන්සේ විසින් දෙසා වදාරනු ලැබූ අතීත කතාව ගෙනහැර පාන්නට වෙහෙස නොවන අතර වර්තමාන කතාවෙන් අපට උගත හැකි දෑ සහ ජාතක කතාකරුවා දැන හෝ නොදැන බුදුන් වහන්සේ අපහසුතාවට පත් කර ඇති අවස්ථා පිළිබඳ අවධානය යොමු කරමු.
 
 
 
 
#  පළමු වැන්න නම් තුවාලය තමන්ගේ වන තුරු ම වේදනාවක් නොදැනෙන බව පසක් කිරීම ය.
# දෙවැන්න නම් නායකකාරාදින් යනු තමන්ගේ වාසි අවාසි තත්ත්ව මත ඔවුන් විසින් ම පනවනු ලද නීති රෙගුලාසි යළි ඔවුන් විසින් ම ඉවත් කරගනු ලබන බවයි.
# තෙවැන්න නම් එසේ නායකකාරාදීන්ගේ අවැසිතාව මත නීති පැනවවීම සහ වෙනස් කිරීම සම්බන්ධයෙන් අනෙකා ප්‍රශ්න නොකිරීම ය.
# සිවුවැන්න නම් භික්ෂූන් වහන්සේලා වුව ද තම නායකයා වූ බුදුන් වහන්සේ පවා අපහසුතාවට පත්කිරීම සඳහා නිල බලා ප්‍රහාර එල්ල කිරීම ය.
 
 
බුදුන් වහන්සේ පළමුවෙන් ම මෙවන් විනය නීතියක් පනවති.
 
‘‘යම් කිසි මහණෙක් අනුපසම්පන්නයක් හා එක සෙනස්නෙහි සහසෙය්‍යාව කෙළේ නම් පාචිත්තියාපත්ති වන්නේය’’
 
බුදුන් වහන්සේ විසින් පනවන ලද නීතිය අකුරට ම ඉටු කිරීමේ දී භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ ම පුත්‍ර රත්නය අපහසුතාවට පත්කර උන්වහන්සේගේ නීතියට අභියෝග කර ඇති ආකාරය දෙස අවධානය යොමු කරන්න.
 
‘‘පළමුත් ඒ භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේද කෙරෙහි ගෞරවයෙන්ද ඒ ආයුෂ්මතුන් වහන්සේගේ ශික්ෂාකාමී බව නිසාද තමන්වහන්සේලා වසන්නා වූ ස්ථානයට පැමිණියා වූ ඒ රාහුල ස්ථවිරයන් වහන්සේට අතිශයින් සංග්‍රහ කරණ සේක. මිටි ඇඳක් පනවා ඉස තබන්නට සිවුරක් දෙන සේක. එදවස් වනාහි ශික්‍ෂාපද භයින් වසන්නාවූ ස්ථානයක් නුදුන් සේක.’’
 
මෙහිදි අප අවධානය යොමු කළ යුත්තේ ‘‘එදවස් වනාහි ශික්‍ෂාපද භයින් වසන්නාවූ ස්ථානයක් නුදුන් සේක.’’ යන කොටස වෙත ය. 
 
එනම් සැබැවින් ම භික්ෂූන් වහන්සේලා රාහුල සාමණේර හිමි වෙත තම කුටියේ ඉඩ කඩ ලබා නුදුන්නේ ශික්ෂා පදයට ඇති බිය හේතුවෙන් ද එසේත් නොමැති නම් අදාළ ශික්ෂා පදය හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට වූ අවාසිය (ඒ කුමක් ද යන්න වෙසෙසින් පැහැදිලි කළ යුතු නැතැයි අදහස් කරමි) හේතුවෙන් ද යන්න ය. 
 
සරලව ම පවසන්නේ නම් මෙහි දී භික්ෂුන් වහන්සේලාගේ අදහස වන්නේ ‘‘රාහුල සාමණේරයණි, අපගේ කුටියේ නවාතැන් දෙන්නට අපි කැමති වුව ද නුඹ වහන්සේගේ පියාණන් වහන්සේ විසින් පනවන ලද විනය නීතිය හේතුවෙන් එසේ කළ නොහැකි ය යන්න ය.
 
අනතුරුව බුදුන් වහන්සේගේ ම පුත්‍ර රත්නය මුහුණ දුන් ඛේදවාචකය සැල වූ විගස අන්වහන්සේ මෙසේ අදහස් කරති.
 
‘‘ඉක්බිත්තෙන් භික්ෂූහු දැම්ම රාහුලයා හරණ වූ සෙසු කුලදරුවන් මහණ කරවා කුමක් කෙරෙත්දැයි කියා සර්වඥයන් වහන්සේට ධර්මසංවේග උපන්නයි’’
 
 
මෙම කොටස වඩාත් සරලව වටහාගන්නේ නම් මෙසේ ය.
‘‘මගේම පුත්‍ර රත්නය වූ රාහුල සාමණේරට මෙවන් ඛේදවාචකයක් සිදුවූයේ නම් අනෙක් සාමණේර වහන්සේලා පිළිබද කුමන කතා ද’’ යන්න ය.
වහා ක්‍රියාත්මක වන බුදුන් වහන්සේ කඩිනමින් ම දම්සභාව කැඳවා විමසන්නේ කුමක් ද?
 
‘‘උදැසනක්සේම භික්ෂූන් වහන්සේ රැස් කරවා දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ අතින් ශාරිතපුත්‍ර ස්ථිවිරයයෙනි අද රාහුලයා කොතැනක ලැග්ගේද තෙපි දනුදැයි විචාරා වදාළසේක’’
 
සිහිබුද්ධියෙන් කියවන විට මෙය කුමක්ද යන්න වටහා ගැනීම අසීරු නොවේත සැබැවින් ම මෙය විය හැකි ද? එසේත් නොමැති නම් ජාතක කතාකරුවා වරද්දා ගත්තා ද? බුදුන් වහන්සේ විසින් වාරණ ලද පැනයට සැරියුත් මහතෙරුන් වහන්සේ මෙසේ පිළිවදන් දුන්හ.
 
‘‘ස්වාමීනි මම නොදනිමි දැන්වූසේක.’’
 
යැයි උන් වහන්සේ පැවසූහ. ඉක්බිති බුදුන් වහන්සේ ක්ෂණිකව ම පෙර දිනයේ පැනවූ විනය නීතිය මෙසේ වෙනස් කළහ.
 
‘‘ශාරිපුත්‍ර ස්ථවිරයෙනි අද රාහුලයා වර්චස් කුටියෙහි ලැග්ගේය. මෙපරිද්දෙන් රාහුලයා හරණ වූ තෙපි හැම සෙසු කුලදරුවන් මහණ කරවා කුමක් කරව්ද මෙසේ කළ කල්හි මේ බුද්ධශාසනයෙහි ප්‍රවෘජිතයෝ පිහිටක් නොලබන්නාවු වේදැයි ධර්මසංවේගයට පැමිණ මෙතැන්පටන් කොට අනුපසමපන්නයක්වූ එක්ව දෙදවසක් තමා සමීපයෙහි වස්වා තුන්වැනි දවස් ඔවුන් වසන තෙනක් දැන පිටත වස්වයි කියා මේ අනුප්‍රඥ්ප්තිය වදාරා නැවත ශික්ෂාපද පැනවූසේකී.’’
 
ජාතක කතාකරුවා දැන හෝ නොදැන මේ ලියා ඇත්තේ කුමක් ද?
 
 
වර්තමාන පාලකයෝ තම තමන්ගේ වාසිය පිණිස ගැසට් පත්‍ර නිකුත් කිරීම, යළි පැය විසි හතරක් යන්නට මත්තෙන් එම ගැසට් පත්‍රය අවලංගු කිරීම, ගැසට් පත්‍රය අවලංගු කළ ද අදාළ අමාත්‍යංශ නිලධාරීන් විසින් අවලංගු කළ ගැසට් පත්‍රය වෙනුවට යළි පැනවූ ගැසට් පත්‍රය බල රහිත කිරීම යනාදිය පිළිබඳ නොවේ ද? මේ සියල්ල තුළින් ගම්‍ය කෙරෙන්නේ කුමක් ද? බුදුන් ධරමාන යුගයේ මතු නොව සාරා සංඛ කල්ප ලක්ෂයක් ඈත සිට ම සිදුවන දෑ වර්තමානයේ සිදුවන අතර අනාගතයේ ද සිදුවන බව නොවේ ද?
 
 
මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදි ‘තිප්පල්ලත්ථිමිග’ ජාතක කතාව යනු හුදෙක් ළමා අපයෝජන පිළිබඳ පමණක් සාකච්ඡා කෙරෙන ජාතක කතාවක් නොවන බව මෙය කියවූ පාඨක ප්‍රජාව අවබෝධ කරගනු ඇතැයි මම විශ්වාස කරමි. 
 
එමෙන් ම  ජාතක කතාවක්: කියවා, අසා සද්ධාවෙන් ඉපිල ගියාට කම් නැත. නමුදු එකී කතාවේ පෙරාපර සන්ධි ගළපා, කියවා, දැනුමක් ලබාගන්නේ නම් කෙතරම් අගනේ ද? මේ වෑයම ඒ වෙනුවෙනි.
 
 
 
 
Jayasiri alawathaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  
2021/03/19
 
 
 
 
 
 
 
ජයසිරි ගේ ජාතක කතා විමර්ශන:
 
 
The Leader TV

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

සිද්ද වෙන දේවල් දැක්කම දුකයි

 

 
 
 
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්