‘‘ඇත්තට ම බෝධිසත්වයෙක් වගේ හිටිය මනුස්සය නෙ... කවුද අනේ හිතුවෙ මිනිහ මේ වගේ අපරාධයක් කරයි කියල’’
 
 
භාවිත භාෂාවෙන් පවසන්නේ නම් ‘කුරා කුහුඹුවෙකුටවත් වරදක් නැති මිනිහෙක්’ යැයි බාහිර සමාජය පිළිගත් පුද්ගලයෙකු මිනිසෙකුට ඉතා අමානුෂික ආකාරයෙන් පහර දුන්නේ නම් හෝ පුද්ගලයෙකු මරා දැමුවහොත් සමාජයෙන් ඇසෙන්නේ යට සඳහන් කළ ආකාරයේ දෙබස් ඛණ්ඩ ය. 
 
බෝධිසත්වයෙකු සේ ජීවත්වන මිනිස්සු මතු නොව බෝධි සත්වයෝ ද විවිධ අපරාධ සඳහා සහභාගි වී ඇති ආකාරය සහ ප්‍රාණ ඝාතනයේ යෙදුණු අවස්ථා ජාතක කතා සංග්‍රහයේ අන්තර්ගතය.
 
 
# සුලසා ජාතකයේ සඳහන්වන පරිදි බෝධිසත්වයෝ මිනිස්සු මරා දමන සොරෙකි. 
 
# සතපත්ත ජාතකයේ සඳහන් ආකාරයට බෝධිසත්වයෝ සොර කණ්ඩායමක නායකයෙකි. 
 
# කණවේර ජාතකයේ සඳහන්වන පරිදි බෝධිසත්වයෝ ප්‍රසිද්ධ සොරෙකි. හෙතෙම බරපතළ ලෙස රාජපුරුෂයන්ගේ ප්‍රහාරයට ද ලක් වන්නේ ය. 
 
# උම්මග්ග ජාතකයේ වුව ද බෝධිසත්වයෝ මහලු කේවට්ට බමුණාගේ මුහුණ බිම උලන්නේ ය. 
 
# තවත් පසෙකින් ලිත්ත ජාතකයේ සඳහන් වන පරිදි ඔහුගේ විරුද්ධ සූදු අන්තුවාට වස කවන්නේ ය. 
 
# කර්කටක ජාතකයේ සඳහන් වන පරිදි බෝධිසත්වයෝ ඇත් රජෙකුව ඉපිද සිට ඇත. එහි අවසානයේ දී බෝධිසත්වයෝ කකුළුවකු සිය පයින් පාගා ඝාතනය කරති.
Crab
 
අද ජාතක කතා විමර්ශන තුළින් අවධානය යොමු කරන්නේ යට කී කර්කටක ජාතක කතාව පිළිබඳව ය.
 
බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ දී මෙම ජාතකය දෙසා වදාරා ඇත්තේ එක්තරා ස්ත්‍රියක් අරබයා බව ජාතක කතාකරු සඳහන් කරයි.
 
අපර කතාවට අනුව එක්තරා ධනවත් තරුණයෙක් සිය බිරිඳ සමග සැවැත් නුවරට ගමන් කරන අතර මග දී ඔවුන් ඉදිරියට පැමිණි සොරු කණ්ඩායමක නායකයා එම තරුණයාගේ බිරිඳගේ රූප සොබාවට වශී වී ඇය තමන් සතු කරගන්නා අදහසින් තරුණයා මරා දැමීමට සැරසී ඇත. 
 
එය වටහා ගත් මෙම කාන්තාව, සිය සැමියා මරා දැමුව හොත් තමා ද සිය දිවි තොර කරගන්නා බව සොර නායකයාට පවසා ඇත. අනතුරුව සොර නායකයා මෙම යුවළ නිදහස් කර යවා ඇත.
 
ඉක්බිති ඔවුහු බුදුන්වහන්සේ සම්මුඛ වූ පසු ආගිය තොරතුරු විමසා ඇත. එවිට එම තරුණයා, ඔවුන්ට අතරමග දී සිදු වූ අකරතැබ්බය පිළිබඳ බුදුන් වහන්සේට පවසා ඇත. සියල්ල සාවධානව අසා සිටි බුදුන් වහන්සේ පවසා ඇත්තේ පෙර ආත්මයක දී ද එම තරුණිය මේ ආකාරයට ම සිය සැමියාගේ දිවි බේරාගෙන ඇති බවයි. කර්කටක ජාතකය යනු එහි පූර්ව කතාව යි.
 
 
 
පාඨක ප්‍රජාවගේ පහසුව පිණිස ඉදිරිපත් කරන පූර්ව කතාවේ සාරාංශය මෙසේ ය.
 
අනෙකුත් කතා සේ ම යට ගිය දවසක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කරන සමයේ එනුවර පිහිටි විලක විශාල, රන් පැහැති කකුළුවෙක් වාසය කර ඇත. එම කකුළුවාගේ විශාලත්වය කෙතරම් ද යන්න ජාතක කතාකරුවා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.
 
‘‘යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි එක්විලෙක මහත්වූ කලවිටක්යා මහත ඇති රන්වන් කකුළුවෙකු ඇත'’’  (මෙහි සඳහන් ‘‘කලවිටක්යා’’ යනු කමත ය.) එනම් මෙම කකුළුවා කමතක් තරම් සුවිශාල කකුළුවෙකි.
 
මෙම විල ආසන්නයේ ම ඇත් රංචුවක් වාසය කර ඇත. එම ඇත් රංචුව නෙළුම් දලු සහ රේණු කෑම සඳහා විලට බට විට කකුළුවා ඒ ඒ ඇතුන්ගේ කකුලක් ඩැහැගෙන ගොස් ආහාරයට ගෙන ඇත. කකුළුවාගේ ප්‍රහාරයට බියවූ මෙම ඇත් රංචුව පසු කලෙක දී විලට බැසීම නවතා ඇත.
 
ඔය අතරවාරයේ දී මෙම ඇත් රංචුවේ සිටි ඇතින්නක ගැබ් ගෙන ඇත. ඇගේ ගැබ ආරක්ෂා කරලනු පිණිස ඇය මෙම විල සමීපයෙන් ඈතට ගොස් ඇත. නොබෝ දිනකින් ම ඇතින්නිය ඇත් පැටවකු ප්‍රසූත කර ඇත. ඒ ඇත් පැටවා වනාහි බෝධිසත්වයෝ ය.
 
විලෙහි වෙසෙන කකුළුවා මෙන් ම මෙම ඇතත් පැටවා ද කලක් යන විට ඉතා දැවැන්ත ඇතෙකු සේ වැඩී ඇත. ජාතක කතාකරුවා එම ඇතාගේ විශාලත්වය මෙසේ සඳහන් කරයි.
 
‘‘... බෝධිසත්වයෝ වැඩිවිය පැමිණ අංජන කූටයක් සේ මහත්වූ ශරීරයක් ඇතිව...’’  (මෙහි එන ‘‘අංජන කූටයක් සේ’’ යනු ‘තද කළු පැහැති ගල් පර්වතයක් සේ’ ලෙස අර්ථ ගැන්විය හැකි ය.)
 
            ඇත් පැටවා තරුණ වියට එළඹි විට ඇතින්නක් ද සිය ඇඹේණිය ලෙස ගෙන සිය පියා දකිනු රිසියෙන් විල සමීපයට පැමිණ ඇත. එසේ පැමිණි බෝධිසත්වයන් හට විලෙහි වෙසෙන දරුණු කකුළුවා පිළිබඳ සැල වී ඇත. අනතුරුව බෝධිසත්ව ඇතා සිය පියා අබියසට ගොස් වලෙහි වෙසෙනා කකුළුවා මරා දැමීම සඳහා අවසර ඉල්ලා ඇත. ඇත් පියා එයට විරුද්ධ වුව ද කකුළුවා ඇතුන්ගේ පාදයෙන් අල්ලා ඩැහැගන්නා අවස්ථාව පිළිබඳ විමසා කකුළුවා ඝාතය කිරීම සදහා විලට ගොස් ඇත. කකුළුවා බෝධිසත්ව ඇතාගේ කකුල ද පෙර ඇතුන්ගේ සේ ම තම අඬු යුගලට සිර කර අල්ලාගෙන ඇත. එහි දී බෝධිසත්ව ඇතාට ද මර බිය ඉපිද කෑගසා ඇත. එම කෑගැසීම ඇසුණු අනෙක් ඇත්තු සියලු දෙනා ද මර බියෙන් පලා ගොස් ඇත. එසේ පලා යන ඇතුන්ගේ බිය කෙතරම් ද යන්න ජාතක කතාකරුවා මෙසේ සඳහන් කරයි.
 
‘‘ඒ හඬ ඇසූ බොහෝ ඇත්තු තමන් කෙරේ භයින් කුංචනාද කොට ඉල්ලති. මුත්‍ර වත්කොට ඒ ඒ අත දිවූහ'’’
 
අනෙක් ඇතුන් මෙසේ බියපත්ව පලා යන විට ඊට හේතුව කුමක්දැයි නිසියාකාර අවබෝධයක් නොමැති නාඹර ඇතාගේ ඇඹේණි ඇතින්නිය ද පලා ගොස් ඇත. එසේ පලා යන ඇතින්නිය අමතා කෑගසන බෝධිසත්ව ඇතා විමසා ඇත්තේ මෙතරමට ම මට ආදරය කරන, මම ආදරය කරන නුඹ මෙවන් මොහොතක මා දමා පලා යන්නේ ඇයි ද යන්න ය.
 
එවිට ඇතින්නිය ආපසු හැරී, සිදුවූ විපත දැන, ‘‘නොබැව මැනව... නුඹ වහන්සේ ඇර මම කොයියෙම් ද?’’  යනුවෙන් පවසා සිය ස්වාමියාට විපතක් නොකරන්නැයි කකුළුවා හට ආයාචනා කර ඇත. කකුළුවා ද ඇතින්නක (ස්ත්‍රියක) විසින් කරන ලද ඉල්ලීමට සවන් දී බොධිසත්ව ඇතාගේ පාදය අත්හැර ඇත. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බෝධිසත්ව ඇතා කකුළුවාගේ පිට මත පා තබා, පාගා ඌ ඝාතනය කර ඇත.
 
එයිනිදු නතර නොවූ බෝධිසත්ව ඇතා සිය ප්‍රහර්ෂය විදහා දක්වමින් කුංච නාද කර ඇත. එම නාදය ඇසූ, මීට මොහොතකට පෙර පලා ගිය සියලු ඇත්තු යළි විල අසලට පැමිණ මිය ගිය කකුළුවාගේ සිරුර විලෙන් ගොඩට ඇද පාගා පොඩි පට්ටම් කර ඇත. එසේ (මල කකුළුවාගේ සිරුර) පොඩිපට්ටම් කිරීම කෙතරම් තියුණු ද යන්න ජාතක කතාකරුවා මෙසේ සඳහන් කරයි.
 
‘‘ඒ කුංචනාදය ඇසූ ඇත්තු පෙරළා දියට අවුත්කකුළුවා ඇද ගොඩලාගෙන සුනු විසුනු කොටමඩවාපූහ.’’
 
සෝවියට් විප්ලවය අවසානයේ දී රතු හමුදාව විසින් සාර් රජුගේ බල්ලා ද ඝාතනය කර ඇති බවත් එය කෙතරම් ම්ලේච්ඡ ද යන්නත් විමසූ ඇතැම් කවියෝ ප්‍රභාකරන් ඝාතනයෙන් ඉක්බිති ඔහුගේ බාල වයස්කාර පුතු ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුනිවත රැක්කේ ය. 
  
බෝධි සත්ව ඇතා ද මිය ගිය කකුළුවාගේ සිරුරට කිසිදු ගෞරවයක් දක්වා නොමැති අතර ඉතිරිව තිබූ කකුළු අඬු යුගල ද දෙපාර්ශ්වයක් විසින් බෙර නිපදවාගැනීම සඳහා භාවිත කරනු ලැබ ඇත. ජාතක කතාකරුවා එය මෙසේ සඳහන් කරයි.
 
‘‘ ඒ කකුළුවාගේ නළ දෙක වනාහී දියෙන් තිබූවාහ. ගංගානම් ගඟත්එකියන කකුළුවා වසන්නා වූ විලත් සමීප හෙයින් වතුර ආ කල ගඟින් ඒ විලට හා මලින් ගඟ වටා පැන් වදිනා හෙයින් වතුරෙන් ගොසින් ඒ නළ දෙක දියෙහි වැටී ගංගානම් ගඟට වැටීඉන් එක් නළයෙක් දියෙන් ගොසින් මූදට වැටිණ. ඒ අසා අසුරයෝ දැක තමන්ට උත්සවයට මිහිඟු බෙරයක් කොට සලස්වාගත්හ. එක් නළයෙක් වනාහී දසබෑ රජ්ජුරුවන් දෝදැල් එළනා ගංගාවේ ආ නළ දෝදැලේ බඳුනා ඇරගෙන තමන්ගේ උත්සවයට ගසන්නට මිහිඟු බෙරයක් කොට සලස්වාගත්තාහයි.’’
 
මෙම ජාතක කතාව රචනා කිරීමේ දී කතාකරුවා මායා යථාර්ථවාදය හෙවත් ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය (Magical Realism) භාවිත කර ඇති බව (එකල එවන් රීති නොතිබුණ ද) පැහැදිලි ය. 
  
ඒ, ‘කමතක් තරම් විශාල කකුළුවකු’ පාඨක ප්‍රජාව හමුවට ගෙන ඒම සහ නාඹර ඇතා හැඳින්වීම සඳහා ‘අංජන කූටයක් සේ මහත් වූ ශරීර ඇතුව’ යනුවෙන් යෙදීමෙනි. අනෙක් පසින් මෙම ජාතක කතාවේ දී බෝධිසත්වයන් වහන්සේගේ ගුණෝත්ප්‍රේක්ෂාව පිළිබිඹු නොකිරීමට ද වගබලාගෙන ඇත. 
 
ඒ, මෙම ජාතක කතාවේ එන බෝධිසත්වයෝ වනාහී මෙත්තා, කරුණා සහ මුදිතා ගුණයෙන් වියුක්ත බෝධිසත්ව චරිතයක් වන බැවින් විය හැකි ය. 
 
මෙම ජාතක කතාවේ තවත් විශේෂත්වයක් වන්නේ පූර්ව ආත්මයේ නාඹර ඇතා කකුළුවාගෙන් බේරාගත් ඇතින්න සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ බෝධිසත්වයන් සමග එක්ව විසූ, සිද්ධාර්ථ කුමාරයාගේ අග්‍ර මහේෂිකාව වූ යශෝධරා නොවීම ය. 
 
 
බුදුන් වහන්සේගේ ම වචනවලට අනුව (ජාතක කතාකරුවා පවසන පරිදි) පූර්ව ආත්මයේ කකුළුවාගෙන් බෝධිසත්ව ජීවිතය බේරාගෙන ඇත්තේ යශෝධරා නොව අපර කතාවේ බුදුන් වහන්සේ ඉදිරියට පැමිණි ධනවත් සිටු තරුණයාගේ බිරිඳ ය. ජාතක කතාකරුවා එය ප්‍රත්‍යක්ෂ කරන්නේ මෙලෙසිනි.
  
‘‘එසමයෙහි එකියනඇත්තී නම් මේ කියන ස්ත්‍රී ය. එසමයෙහි ඇත් රජව උපන්නෙම්බුදු වූ මම් ම යැයි දක්වා වදාළ සේක.’’
 
පසුගිය යුද සමයේ සිංහල බෞද්ධ අන්තවාදීහු  (විශේෂයෙන් ම චීවරධාරීහු) නිවන් දැකීම ඉක්මන් කරගැනීමට නම් වැඩිවැඩියෙන් සතුරන් ඝාතනය කළ යුතු ය යන්න ඔවුනගේ අශීලාචාර මුඛයෙන් වදාරා සිටියේ මෙවන් ජාතක කතා ආදර්ශයට ගෙන විය හැකි ය. 
  
ජාතක කතාකරුවා විසින් ලියන ලද ඇතැම් කතා ‘හොඳ’ යැයි සම්මත පූර්වාදර්ශ රැගෙන එන අතර තවත් පසෙකින් ‘නරක’ යැයි සම්මත පූර්වාදර්ශ ද රැගෙන එයි. එය සැදැහැවත් බෞද්ධයන්ට සිය ගැලවිජ්ජාව සඳහා භාවිත කළ හැකි කදිම උපාය මාර්ගයකි. 
 
ඇතැම් බෞද්ධයෝ වාසි සහගත අවස්ථාවේ දී ජාතක කතා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකැයි පවසන අතර ම මෙවන් කතාවක් පිළිබඳ විචාරීමේ දී පවසන්නේ ජාතක කතා කියා ඇත්තේ බුදුන් වහන්සේ නොවේ ය යනුවෙනි. එය ද හුදු අවස්ථාවාදය ම මිස අන් කවරක් ද?
 
 
 
පරිශීලන ග්‍රන්ථ: -         
ජාතික කතාවල අපරාධ විද්‍යාත්මක ලක්ෂණ: 2007: සුධීර ජයවීර: කර්තෘ ප්‍රකාශන
 
ජාතක කතාවල සමාජ විද්‍යාත්මක ලක්ෂණ: 1993: බී. ඒ. ටෙනිසන් පෙරේරා: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
 
ජාතක අටුවා ගැටපද ව්‍යාඛ්‍යාව: 2013: නීල් පුෂ්ප කුමාර: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
 
 
Jayasiri Alawaththaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන:
 
 
 
 

 


THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්