බුදුන් වහන්සේ විසින් වදාරනු ලැබ ඇතැයි පවසන ජාතක කතා ලියා ඇත්තේ පුරුෂයෙකු ද කාන්තාවක ද
එසේත් නොමැති නම් මේ දෙපාර්ශ්වය ම ද යන්න අවිනිශ්චිත ය. 
 
එකී කිනම් පාර්ශ්වයක් විසින් ලියනු ලැබූව ද ‘‘ජාතක කතා සංග්‍රහය’’ යනු කාන්තාවන්ගේ ලිංගික චර්යා පිළිබඳ බරපතළ ලෙස හුවා දැක්වෙන කතාන්දර ගොන්නක් බව අවිවාදිත ය. 
 
සමස්ත ජාතක කතා සංග්‍රහය ම ගෙන බැලූ විට පුරුෂයන්ගේ නියම් හෝ අනියම් ලිංගික චර්යා පිළිබඳ හෙළිදරව් කෙරෙන කතාවලට වඩා වැඩි කතා ප්‍රමාණයක කාන්තාවන්ගේ අනියම් ලිංගික චර්යා පිළිබඳ හෙළිදරව් කෙර්.
 
අද ජාතක කතා විමර්ශන වෙන් කෙරෙන්නේ එබඳු කාන්තා චරිත ඇතුළත් ජාතක කතා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය.
 
කුණාල ජාතකය:
 
 
Chulla kunala
 
ජාතක කතා සංග්‍රහය පරිශීලනය කිරීමේ දී ස්ත්‍රියගේ ලිංගික චර්යා පිළි‍බඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් කතාවක් ලෙස ‘කුණාල ජාතකය’ හැඳින්විය හැකි ය. එම කතාවේ මුඛ්‍ය තේමාව ම ස්ත්‍රියගේ ලිංගික ලෝලිත්වය යි.
 
 
මෙම ජාතක කතාවේ එන පරිදි එහි ප්‍රධාන චරිතයක් වන ක්‍රිෂ්ණා නම් වූ කුමාරිකාව සිය ස්වයංවරයේ දී එක විට පුරුෂයන් පස්දෙනෙකු තෝරාගන්නී ය. ඇගේ පියාණන් වන රජතුමා මීට නොකැමැත්ත පළ කළ ද පෙර දී ඇති පොරොන්දුවක් හේතුවෙන් එම කුමාරවරු පස්දෙනාට ම ක්‍රිෂ්ණා කුමාරිය විවාහ කර දෙන්නේ ය.
 
ඔවුන් වෙසෙන පස් මහල් ප්‍රාසාදයේ රැකවලට සිටින්නේ විරූපි මුහුණැති බඩ මහත පුද්ගලයෙකි. ජාතක කතාවෙහි ඔහු පිළිබඳ ලියා ඇත්තේ ‘‘එකල එම ප්‍රාසාදයෙහි දොරකඩ රැකවල ගෙන සිටියා වූ විසුළු මුහුණු ඇති බුන්කඳට ඇති බැවින් බඩරූප මෙන් ලෙහි තිබෙන්නා වූ මුහුණු ඇති පිලකු’’  යනුවෙනි.
 
ක්‍රිෂ්ණා කුමරිය සිය විවාහක පුරුෂයන් ප්‍රාසාදයෙන් නික්ම ගිය සැණින් යට කී පුද්ගලයා සමග ද ලිංගික සංසර්ගයේ යෙදෙන්නී ය. ඇතැම් දිනෙක එම කුමාරවරු පස්දෙනා ම සිටිය දී වුවද විවිධ උපක්‍රම භාවිත කරමින් එම විරූපී පුද්ගලයා සමග සංසර්ගයේ යෙදෙන්නී ය. 
 
එමතු නොව මෙම ක්‍රිෂ්ණා නම් කුමරිය විරූපි මිනිසා සමග යහන් ගතවන අවස්ථාවේ දී විවාහක පුරුෂයන් පස්දෙනාට ම වඩා ඔහුට ආදරය කරන බව පවසන්නී ය. විවාහක කුමාරවරුන් එකිනෙකා සමග ද වෙන වෙන ම ඒ ආකාරයෙන් ම පවසන්නී ය.
 
 
මෙම ජාතක කතාවේ ම තවත් තැනෙක ‘කින්නරා දේවි’ නම් රජ බිසවක ගැන කියැවේ. ඇය ද රාත්‍රි කාලයේ දී රජුට හොරා ගොස් දෑත් දෙපා ද අහිමි, ඉතා විරූපී, ශරීරය පුරා තුවාල පිරි පුද්ගලයෙකු සමග සංසර්ගයේ යෙදෙන්නී ය. ඇය එම පුද්ගලයා වෙත යන ආකාරය ජාතක කතාකරුවා මෙසේ සටහන් කරයි.
 
 
‘‘රාත්‍රි කාලයේ රජ්ජුරුවන් කෙලෙස රතියෙන් සතපා යානට වැඩපි කල නිදි වර බලා සෙමෙන් නැගී සිට නොයෙක් රසමසවුලෙන් යුක්ත වූ ආහාරය රන් තැටියෙහි පුරාගෙන එතු රතු පොට අස්සෙහි තබාගෙන කඩරෑනක් සී මැදුරු කවුළුවෙහි සිරිගම්පයෙහි බැඳ ප්‍රසාදයෙහි ම පලයට බැඳි තිබෙන්නා වූ දඹ අත්තට බැස අත්ත ඔස්සේ ගොස් බිමට බැස පිලා බත් කවා ඌ හා සමග පාප ක්‍රියාවෙහි යෙදී පළමු බටුවාවු ක්‍රමයෙන් ම ප්‍රාසාදයට නැගී ශරීරයෙහි වැකි ගිය කුණු පැටි කරනු පිණිස සඳුන් සුවඳින් ඇඟ උලා රජ්ජුරුවන් හා එකී යාන් පුරුදුව සැතපෙන්නී ය.’’
 
කුණාල ජාතකය වනාහී ස්ත්‍රීන්ගේ අනියම් ලිංගික චර්යා පිළිබඳ ලියැවුණ වෙසෙස් ජාතක කතාවකි. 
 
මෙහි එන තවත් කතාවක සඳහන් වන පරිදි පිංගියානි නම් වූ රජ බිසවක් ඔවුන්ගේ මගුල් අස්ගොව්වා සමග ලිංගික සංසර්ගයේ යෙදෙන්නී ය. ඇය ද කින්නරා දේවිය මෙන් ම අස් ගොව්වා සමග ලිංගික සංසර්ගයේ යෙදී නැවත පැමිණ සඳුන් සුවඳ උලා රජතුමා සමග ද යහන් ගතවන්නී ය.
 
  
සමස්ත කුණාල ජාතකයේ අන්තර්ගත සියලු කතා තුළින් ප්‍රකට කෙරෙන්නේ ස්ත්‍රියගේ නුගුණ ම ය; ඇය ඉඩ ලද ඕනෑම මොහොතක පර පුරුෂයන් සමග මෙවුන්දමෙහි පැටලෙන තතු විත්ති ය. එහි අන්තර්ගත ස්ත්‍රී චරිත ඇසුරෙන් කෙරෙන මෙම ප්‍රකාශය ස්ත්‍රිය කෙතරම් කාමාසක්ත ද යන්න මනාව පැහැදිලි කෙරේ.
 
 
‘‘ස්ත්‍රී ජාතිහුත් පුරාලිය නොහැකි සිත් ඇත්තාහ. එකී කල ස්ත්‍රියකට සෞර්ය වීර්ය ඇති මහත් වූ කාය බල හා ඥාන බල අරථ බල තන්ත්‍ර බල ආදි සියලු වස්තු කාම කෙලෙහි කාමයන් අනුන කොට දිලින්ට සම්ර්ත වූ සැමියෝ අටදෙනෙක් ඇත්ත මුත් නවවැනිය සොර සැමියා පතන්නී ය.’’
 
 
චුල්ල පදුම ජාතකය:
 
 
 
 
 
ජාතක කතා සංග්‍රහයේ එන චුල්ල පදුම ජාතකය ද ස්ත්‍රියගේ කාමාසක්තභාවය පිළිබිඹු කෙරෙන කතාවකි. 
 
 
මෙම කතාවේ සඳහන් ආකාරයට බ්‍රහ්මදත්ත රජු ඔහුගේ පුත් කුමාරවරු සත්දෙනො පිළිබඳව සැක සිතයි. එම නිසා සිය දරුවන් සත්දෙනාට බිසෝවරු සමග එම නුවරින් පිටවීමට අණ කරයි. 
 
දරුවන් සත්දෙනා ද සිය බිසෝවරු සත්දෙනා සමග එම නුවරින් පිටව යති. ඒ යන අතර මගදී ඔවුහු මහා කාන්තාරයකට පිවිසෙති. කාන්තාරය පසු කර යන මොවුන්ට ආහාර පානාදිය නොමැති හෙයින් අනුපිළිවෙළින් බාලයාගේ සිට ඔවුනොවුන්ගේ බිසෝවරු මරා ආහාරයට ගෙන ඇත. 
 
එසේ එන අතර පදුම කුමරා තමාට ලැබෙන මාංශ ප්‍රමාණයෙන් කොටසක් සඟවාගෙන ඇත. අවසන ඉතිරිවන්නේ පදුම කුමරාගේ බිරිඳ පමණි. එදින ඇය මරන්නට සුදානම් වන විට අද දිනට තමා ආහාර සපයන්නෙමියි පවසා මෙතෙක් සඟවාගෙන සිටි මාංශ සහෝදරයින් සය දෙනාට ලබා දේ. 
 
පසුව එදින රාත්‍රියේ පදුම කුමරා සිය බිරිඳ ද කැටුව සොයුරන් සය දෙනාට රහසේ වෙනතක නික්ම යන්නේ ය. එසේ යන අතරමග දී බිරිඳට දිය පිපාසය ඇතිවූ විට බිරිඳගේ පිපාසය සන්සිඳවනු වස් සිය උරය පළා එයින් වෑහෙන රුධිරය ඇයට පොවන්නේ ය.
 
අනතුරුව මෙම යුවළ ගඟක් අසලට පැමිණ, දිය නා සැනහී වනාන්තරයට ගොස් එහි පැලක් අටවාගෙන කල් ගෙවති. මේ අතර දිනක් රාජ උදහසට ලක්ව: අත්, පා, කන් සහා නාසය කපාලූ මිනිසෙකු තබා ගැටගැසූ ඔරුවක් පදුම කුමරුට මුණගැසේ. හෙතෙම අර පුද්ගලයා පැලට ගෙනවිත් ප්‍රතිකර කරන්නේ ය. එවිට කුමරිය එම පුද්ගලයා පිළිකුල් කරන්නී කෙසේ ද යත් ‘‘බෝධිසත්වයන්ගේ බිසව මේ කොටා ගෙනායේ කුමට දැයි බෝධිසත්වයන්ට දොඩා කොටා කෙරේ පිළිකුල්ව දශවිටම කෙළගසා දමා ඉඳිනාහ.’’  යැයි ජාතක කතාකරුවා සඳහන් කරයි.  
 
අනතුරුව මෙම අත පය නැති පුද්ගලයා ද පදුම කුමරු සහ බිරිඳ සමග එම පැලෙහි ම වෙසෙන්නේ ය.  ටික කලක් යන විට පදුම කුමරුගේ බිරිඳ අත පය නොමැති මිනිසා කෙරෙහි ආලයෙන් වෙළෙන්නී ය; පදුම කුමරා පැලෙහි නොමැති සෑම අවස්ථාවක ම කුමරිය ඔහු සමග ලිංගික සංසර්ගයෙහි යෙදෙන්නී ය. ජාතක කතාකරුවා එය මෙලෙස සඳහන් කරයි.
 
‘‘ වන ගුණකොට ඒ කොටා හා බිසවුන් පන්සල සතප්පවා බෝධිසත්වයෝ පලා පඵ කඩා ගෙණවිත් දෙන්නාම රක්නාහ. මේ නියායෙන් කල්යාමක් යත්, කොටාකෙරේ බිසවුන් බිළිබඳ සිත් ඇතිව ලෝකාස්වාද රතියෙන් යෙදී දවස් අරන්නාහු’’
 
කාලය ගෙවී යද්දි කුමරියට පදුම කුමරා කෙරෙහි බැඳි සෙනෙහස නිමා වී ඔහු මරා දමන්නට ද උපායක් සැලසුම් කරන්නී ය; අනතුරුව එම උපාය ක්‍රියාවට ද නගන්නී ය. එහෙත් කුමරාගේ දිවි ගැලවෙන්නේ ය.
 
ජාතක කතාව තව ඉදිරියට ඇදී ගිය ද එය මෙතෙකින් හමාර කරන්නේ මාතෘකාවට අදාළ කොටස මෙගින් පිලිබිඹු වී හමාර බැවිනි. 
 
 
බන්ධන මොක්ඛ ජාතකය:
 
bandhana mokka
 
ස්ත්‍රියගේ කාමාසක්තභාවය පිළිබිමු කෙරෙන තවත් සුවිසෙස් කතාවක් ලෙස බන්ධන මොක්ඛ ජාතකය සඳහන් කළ හැකි ය.
 
 
ජාතක කතාවේ සඳහන්වන පරිදි මෙහි එන බිසව අසීමිත ලිංගිකාසාවෙන් පෙළෙන්නියකි. ඇගේ ලිංගිකාශාව කෙතරම් ද යත් රජු යුද්ධයට ගිය පසු ඇය පුරුෂයන් හැට හතරදෙනෙකු සමග සංසර්ගයේ යෙදෙන්නී ය. ඇය එසේ කරන්නී, ඇගේ සුව දුක් කෙසේ දැයි විමසා එන්නැයි රජු එවන පුද්ගයන් සමග වීම සුවිශේෂ ය.
 
ඇය කෙතරම් සූක්ෂ්ම ස්ත්‍රියක් ද යන්න ජාතක කතාකරුවා මෙලෙස සඳහන් කරයි.
 
‘‘රජ්ජුරුවෝ ඒ බිසවුන් කෙරෙහි අධික වූ ප්‍රේම ඇති හෙයින් ‘තොප කැමති වරයක් ගණුවයි’ කියන්නා. එවිට බිසව් කියන්නේ ‘තෙල කුමක් අඩු හෙයින් ඉල්වම් ද අන්‍ය ස්ත්‍රියක රාග චිතතයෙන් නොබැලුවහොත් ඒ මට වරය යි’ කියන්නා රජ්ජුරුවන් වහන්සේ විසින් සොළොස් දහසක් පුරංගනාවන් ද ඉන්දදී එබඳු වරයක් දෙන්ට බැරියයි කීව. බිසවුන් තත්පරව නැවතත් ඉල්වන හෙයින් බිසවුන් බස ඉක්මවා යා නොහෙන රජ්ජුරුවන් වහන්සේ විසින් වැරදී එතැන් පටන් අන්‍ය ස්ත්‍රියක රාග මිශ්‍රව නොබලා දවස් යවන කල්හි පසල් ගමක සතුරන්ගෙන් භයක් පැමිණ ඒ රට උන් අමාත්‍යයා විසින් කීපවරෙක සටන් කොටත් ජය ගතනොහී එපවත් රජ්ජුරුවන්ට කියා යවී ය. රජ්ජුරුවෝ ඒ අසා සිව්රඟ සෙනග රැස් කරවා සටනට නික්මෙමින් සිටි අග්‍ර මෙහෙසිකා බිසවුන් ගෙන්වා සටන් නම් චපල භයක් පැමිණියක් ස්ත්‍රීන් ජාතිය හැරගෙණ වහා ගැළ වී ගත නොහැක්ක. එසේ හෙයින් තෙපි රඳවයි කියන්නා. බිසව, ‘නොපිළිවන එමි’ කීය, තත්පරවත් රජ්ජුරුවන් විසින් රැඳුණු මනා ම යයි කියන විසින් ‘එසේවී නම් යොත්නෙන් යොත්න (යොදුනෙන් යොදුන) මා විචාරා එවන්ට උවමැනවැ’ යි කියන්නා ‘යහපතැ’ යි කියා බිසවුන් රඳවා නුවර රැකවල් ලවා පුරෝහිත බමුණන්ට පාවාදී නික්ම යොත්තෙන් යොත්නය එකක නියායෙන් මෙහෙවර කරන්නන් ආකළ ‘තොපි ආවෝ ඇයි දැ’ යි බිසව විචාරා ‘සුවදුක් විචාරන්ට ආම්හයි’ කියන්නා එසේ වී නම් මෙසේ එවයි කියා උන් හා සමග ලෝකාස්වාද රතියෙන් යෙදී යවන්නාහ. මෙම නියායෙන් දෙතිස් යොදුන් මාර්ගයට රජ්ජුරුවන් විසින් එවන ලද දෙතිස් දෙනා ද යුද්ධයෙහි ජයගෙණ එන ගමනේ එවන ලද දෙතිස් දෙනාදැයි කියා මෙසේවූ සිවු සැටදෙනා හා සමග සංවාසය කළහ. එකල්හි රජ්ජුරුවෝ නුවර සමීපයට අවුත් ජය කඳවුරු ස්ථානයෙහි හිඳ තමන් ආ පවත් බෝධිසත්වයන් වහන්සේට කියා යවූ කල්හි පිටිනුවර සරහා අනතඃපුරයට ගොස් එපවත් බිසවුන්ට කියන්ට බිසෝ ගෙට ගියාහ, බිසව් බෝධිසත්වයන්ගේ යහපත් රූපශ්‍රීය දැක පිළිබඳ සිතින් මෙසේ අවුත් යහන පිට ඉඳුවයි කීහ. එබසට බෝධිසත්වයන් වහන්සේ විසින් ඇයි දේවීන් වහන්ස රජ්ජුරුවන් වහන්සේ ඉතා රූපත් සේක. පරලොවටත් බයිමි කියන්නා රජ්ජුරුවන් විසින් එවන ලද සූසැට දෙනා නියාවට තොප ම රජ්ජුරුවන්ටත් පරලොවටත් බාගියා දැයි කියන්නා මේසා මහත්වනතුරු පර ස්ත්‍රියයක මුහුණත් රාග වශයෙන් නොබැලීම්. මෙබස් මා කණ එලන්ට එපයි කියන්නා එසේ වීනම් රජ්ජුරුවන්ට කියා තාගේ හිස කප්පම් කියන්නා ‛එක ජාතියක තබා දහසක් ජාතියේ හිස් කප්පතත් එසේවූදෙයක් නොකරමි’ නික්මුණුසේක.
 
 
බිසවු ඇඟ නඛ ගෙන තෙල් වැටුණු ශරීරයෙන් කිළුටුව වස්ත්‍රයක් ඇඳ ලෙඩ වේසයක් මවාගෙන ශ්‍රී යහන් ගබඩාවෙහි වැදහොත් සේක. ස්ත්‍රීන්ට කියන්නාහු රජ්ජුරුවන් වහන්සේ ඇවිත් මා විචාළොත් ලෙඩ නිසා කියවයි කියා වැදහොත්තාහ, බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ට පෙර ගමන් කොට රජ්ජුරුවන් දුටු සේක. 
 
රජ්ජුරුවෝ මහා පෙළහරින් නුවර පැදකුණු කොට රජගෙට අවුත් බිසවුන් නොදැක කොයිදැයි විචාරා ලෙඩනියාව අසා ශ්‍රී යහන් ගබඩාවට ගොස් බිසවුන්ගේ පිට පිරි මැද සුවදුක් කීම්දැයි දෙතුන්වැනිව විචාරන්නා කරකැවී බලා නොනැසී නුඹවහන්සේත් ආනියාවේ ද අපිත් සසවාමික නියාවේදැයි කියන්නා රජ්ජුරුවනුත් ඒ කීම් දැයි විචාරන ලදුව පුරෝහිත බමුණන් විසින් තමා කීවා නොකළ විසින් මට කළ දැයයි කියන්නා රජ්ජුරුවෝ වහා උදහස්ව මාලිගාවෙන් පාතට බැස එතන සිටි සේවකයන්ට පුරෝහිත බමුණා පිටිතලගයා බැඳ ගෙන ගොස් මරාපියවයි මෙවර කීහ.’’
 
ජාතක කතා සංග්‍රහයෙහි එන ස්ත්‍රී ලිංගික චර්යා ඇතුළත් කතා අතුරෙන් මෙම කතාව ඉතා සුවිසෙස් ස්ථානයක් උසුලන්නේ ස්ත්‍රියකගේ සටකපටභාවය ඉතා මැනවින් පිළිබිඹු කෙරෙන බැවිනි. එමෙන් ම මෙතරම් පුරුෂයින් ප්‍රමාණයක් සමග මෙවුන්දමෙහි එළැඹි කාන්තාවක් සමස්ත ජාතක කතා සංග්‍රහයෙහි ම නොමැත්තේ ය. එමෙන් ම මෙහි එන ස්ත්‍රිය තරම් දැඩි ලිංගික ඊර්ෂ්‍යා වෙන් පෙළෙන්නියක වෙනත් කිසිදු ජාතක කතාවක හමු නොවේ.
 
 
සමුග්ග ජාතකය:
 
samugga 
 
ස්ත්‍රීන්ගේ ලිංගික ආසක්තභාවය පිළිබිඹු කෙරෙන තවත් කතාවක් ලෙස සමුග්ග ජාතකය හඳුවා දිය හැකි ය. මෙම කතාවේ ප්‍රමුඛ කරුණ (යක්ෂයෙකු, ස්ත්‍රියක කරඬුවක බහා කුස තුළ සඟවා තබාගෙන සිටීම) විශ්වාස කළ නොහැකි වුව ද එතුළින් විද්‍යමාන කරන්නට යත්න දරන්නේ කුමක් ද යන්න විමසා බැලිය යුතු ය.
 
 
 
මෙකී ස්ත්‍රිය යක්ෂයාට සම්මුඛ වන ආකාරය, ඔහු එකී ස්ත්‍රිය රක්ෂා කරන ආකාරය සහ ස්ත්‍රිය අවස්ථාව ලද සැණෙන් පර පුරෂ සේවනයේ යෙදෙන ආකාරය ජාතක කතාකරුවා මෙලෙස සටහන් කරයි.
 
‘‘එකල්හි ලෙළන දිවි නැමති සලවිදුලිය ඇති චක්ව තිබෙන බැම නැමති දිලියන්නාවූ ඉදුසැව් ඇති උදුළ දල යුවළ නමැති භජන බලපොළ ඇති උරීරු පානය කිරීමෙන් කෙසරු සලාවෙහි රැඳි මදින් වෑහෙන ලේබිදු නමැති පොද පතර ඇති පතල සැඩංහ නමැති මිහිගුම් ඇති කුරිරු දරුණු වෙස් ඇති ඒ දානව රකුස් තෙම අහස් කුසල හළ නිල් මහ මෙකුලක් මෙන් අවුත් ඒ වන මැද මගට බටුයේ ය. එවෙලෙහි ඒ පරිවාර ජනයෝ තම තමා අත තුබූ අවි දමා ඒ ඒ අත දිව්වාහු ය. එසද ඒ දානව තෙම යානාවේ යානොහි උන් උතුම්වූ රූපශ්‍රියෙන් කාන්තවූ ඒ කාන්තාව ඒ කාන්තකොට තමාවසන තැනට ගොස් ප්‍රිය භාර්‍යාවකොට තබා තෙල් මී සකුරු සාල් ආදීවූ නොයෙක් තොසකරණ උපකරණ ගෙණවිත් පෝෂ්‍ය කෙරෙමින් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සරහා අනිකකු නොදන්නා ලෙස රක්නා කැමතිව නොඅඩුවූ සෙනහසින් කරඬුවෙක ලා ගැල කුක්‍ෂියෙහි තබා රක්ෂා කරන්නේය. මෙලෙස රක්නාවූ එතෙම එක් දවසක් ජලස්නානය කරණු කැමතිව සිහිල් සිලිල් පිරිනිමල් කමල් විලකට ගොස් බඩ තුබූ කරඬුව වමාරා එයින් ඈ පිටතට ගෙන පළමු කොට නහවා නොමද සුවඳ විලවුන් ගල්වා නන්විසිතුරු රුවන් ආභරණ පලඳවා මදක් තොප ශරීරයෙහි තෙත් සිදුවා ගනැයි තෙමේ එතැන්හී සැක කටයුතු කිසිකෙනෙකුගෙන් නැති හෙයින් නහන තොටට බැස දුරවසිට දිය නාන්නේ ය. එසඳ ඒ කුමාරිකාවෝ වයස්පුත්‍ර නම් වූ උතුම් රූපශ්‍රීධර විද්‍යාධරයෙකු බංගායුධ ගන්නද්ධව අහසින් එනවා දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව මෙසේ එවයි අත්සන් කොට කැඳව්වා ය. එසඳ විද්‍යාධර තෙමෙ සුරපුරෙන් බස්නා සුරකුමරෙකු මෙන් ද, ගුවන් කුසින් එන රුවන් රුවක්මෙන් ද, ඈ කෙරෙන් ඒ රකුසාගේ මතු වෙන්වීමට පෙර නිමිතිව පතිතවන උල්කා පාතයක් මෙන් ද වහ අහසින් බටුයේ ය.
 
 
එකල ඒ කුමාරිකාවෝ ඔහු කරඬුවේ හිඳූවා දානවයාගේ ආගමනය බලමින් කරඬුව මත්තේ හිඳ දියනා ගොඩනැගී එන්නාවූ ඒ දානවයාට තමා දක්වා ඔහු ලඟට එන්නට පළමුකොට ගත ගබ්ගිලි විදුලියක් මෙන් ඒ කරඬුව ඇතුළට වැද තමා අත සළුවෙන් ඉසවසා පෙරව නොවලසා ඔහු වසාගෙන ඔත්තාය.’’
 
මෙම සිදුවීමෙන් අනතුරුව යක්ෂයා තාපසයෙකු හමුවන්නට යන ආකාරයත්, එහි දී තාපසයා ඔහු සතු දිව්‍ය ඥානයෙන් රකුසාගේ කුස තුළ දෙදෙනෙක් වෙසන බව දුටු ආකාරයත් ජාතක කතාකරුවා මෙලෙස සඳහන් කරයි.
 
 
‘‘තාපසයන් වහන්සේ ද එන්නාවු ඔහු දුරදීම දැක දෙදෙනකු කුස තුළ වසන බව දිව්‍යං චක්‍ෂුභිඥානයෙන් දැක අඥානවූ ඕ හට විඥාපණ කරණු කැමැතිව වදාරණ සේක්. ‘එම්බා පින්වත්නි තොපි තුන්දෙනා කොතැන්හි අවු ද බොහො කලකින් අද මෙතැන්හි තොපගේ පැමිණිම වුයේ ය. කිමෙක් ද තොපි නිදුක් නිරෝගීව ද යහපත මෙසේ අවුත් තෙල අස්නෙහි හිඳූව’ යි වදාළසේක. එබස් අසා ඒ දානව රාක්‍ෂ තෙම මේ තාපසයන් වහනසේ එකලාව මෙතැන්හි ආ මට තුන්දෙනෙකැයි වදාරණ සේක. කිමෙක් ද තත්ත්වය දැන කියන සේක් ද නොහොත් උන්මත්ව නන්දොඩන සේක් දැයි සිතා තාපසයන් කරා එලඹ වැද එකත්පස්ව හිඳ එපවත් පුළුස්නා අදහසින් කතාකරනුයේ කිමෙක් ද තාපසයන් වහන්ස නුඹ වහන්සේ කිසි සහයක් නැතිව මෙතැන්හි ආම්ට තෙපි තුන්දෙනා කොයි සිට අවුදැයි වදාළේ ය. එබසට තාපසයන් වහන්සේ ‘එම්බා රාක්‍ෂය තෝ මේ කාරණය ඉදූරා අසුනු කැමැත්තෙහිදැ’ යි වදාරා ආදරයෙන් ‘එසේය ස්වාමිනි’ දැන්වූ කල්හි ‘පළමු තෝ ද තාගේ කුක්‍ෂිගත කරංකයෙහි තබා පේම භාරයෙන් රක්ෂා කරණ ලද භාර්යාවද යන දෙදෙනා තනිවම විසූහ දැන් වනාහී ඕ තොමෝ වයස්වූ පුත්‍ර නම් වූ විද්‍යාධරයකු හා සමග පාපයෙහි ලැජ්ජා නොකොට තමා අධ්‍යාසය වූ පරිද්දෙන් ලෝකස්වාද රතියෙහි යෙදී ඉන්නීය. එසේ හෙයින් තොප තුන්දෙනෙකුයයි කිමි’ යි වදාළසේක’’
 
මෙම ජාතක කතාව පිළිබඳ ලිවීම ආරම්භයේ දී පැවසු පරිදි ස්ත්‍රියක කරඬුවක බහා කුස තුළ සඟවාගෙන සිටිම පිළිගත නොහැකි වුව ද එ’තුළින් ජාතක කතාකරුවා යත්න දරා ඇත්තේ කෙතරම් ආරක්ෂා සහිතව රඳවා තැබුව ද ස්ත්‍රිය වනාහී අවස්ථාව ලද පළමු මොහොතේ ම පරපුරුෂ සේවනයේ යෙදෙන බව ස්ඵුට කිරීම ය.
 
 
යට සඳහන් ජාතක කතා හතරට අමතරව ස්ත්‍රී ලිංගික චර්යා පිළිබඳව සාකච්ඡා කෙරෙන තවත් කතා රාශියක් ජාතක කතා සංග්‍රහයේ අන්තර්ගත ය. ඉදිරියේ දී එම ජාතක කතා පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් ‘‘ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ස්ත්‍රී ලිංගික චර්යා’’ පළමු ලිපිය මෙසේ නිමා කරමි.
 
 
 
Jayasiri Alawattaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/07/02
 
 
 
 
      
 
 
ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
##########
THE LEADER TV 
විමල් රෙස්ට් කරද්දී ශ්‍රිලනිපයෙන් දිගට හරහට බැසිල්ට ටොකු! 
 
 
මහින්ද- දුටුගැමුණු, බැසිල්- කාවන්තිස්ස නම්'ස' කවුද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්