‘‘ජාතක කතා’’ යනු බුදුන් වහන්සේ විසින් වදාළ කතා නම්, එම කතා පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී දක්නට ලැබෙන සුවිසෙස් ලක්ෂණයක් පවතී. එනම් ස්ත්‍රිය කෙරෙහි උන්වහන්සේ විසින් වදාළ මතවාදය යි. 

 
එය හුදෙක් ස්ත්‍රිය පිළිබඳව උන්වහන්සේගේ දෘෂ්ටිය ද එසේ නොවේ නම් ජාතක කතාකරැවාගේ දෘෂ්ටිය ද යන්න පවා උභතෝකොටිකයකි. මන් ද ඇතැම් ජාතක කතාවක ස්ත්‍රිය පිළිබ‍ඳව උන්වහන්සේ ඉතා යහපත් කරුණු වදාරා ඇති අතර එ’කරුණු ඉක්මවා යන ප්‍රමාණයට ස්ත්‍රියගේ නුගුණ ද වදාරා ඇත. 
 
එබැවින් ස්ත්‍රිය කෙරෙහි උන්වහන්සේ දැරූ ස්ථාවරය කුමක් ද යන්න නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැකි තරමේ ගැටලුවක් පවතී.
 
ජාතක කතා පොතේ අන්තර්ගත කතා අතුරෙන්: අයෝඝර ජාතකය, වෙස්සන්තර ජාතකය, සම්බුලා ජාතකය, සඳ කිඳුරු ජාතකය, කුස ජාතකය, උම්මාදන්ති ජාතකය, සිරි කාලකණ්ණි ජාතකය, කුම්භ ජාතකය, චුල්ල ධනුද්ධර ජාතකය, මාතාංග ජාතකය, ඡද්දන්ත ජාතකය, සුරුචි ජාතකය, පූටබද්ධ ජාතකය, සමුග්ග ජාතකය, චුල්ල නාරද ජාතකය, අලම්බුසා ජාතකය, නලිනි ජාතකය, ඉල්ලීස ජාතකය, අසාත මන්ත්‍ර ජාතකය, මහා පලෝභන ජාතකය සහ අන්ධභූත ජාතකය ඇතුළු තවත් බොහෝ ජාතක කතා ප්‍රමාණයක ස්ත්‍රිය පිළිබඳ සාකච්ඡා කර ඇත.
 
 
අවකල්’ යැයි සම්මත ක්‍රියා සඳහා ස්ත්‍රියගේ නැඹුරුතාව :
 
යට සඳහන් ජාතක කතා අතුරෙන්: නලිනි ජාතකය, චුල්ල ධනුද්ධර ජාතකය, අන්ධභූත ජාතකය, ඉල්ලීස ජාතකය, අසාත මන්ත්‍ර ජාතකය, සමුග්ග ජාතකය සහ මහා පලෝභන ජාතකය යන ජාතක කතා තුළින් (තවත් කතා බොහොමයක් ද පවතී.) ‘අවකල්’ යැයි සම්මත ක්‍රියා සඳහා ස්ත්‍රියගේ නැඹුරුතාව කෙතරම් ද යන්න ප්‍රකට කෙරේ. 
 
මේ අතුරෙන් අද ජාතක කතා විමර්ශනයට බඳුන් කෙරෙන්නේ ‘‘මහා පලෝභන ජාතක කතාව’’ ය. ජාතක කතාකරුවා සඳහන් කරන අන්දමට බුදුන් වහන්සේ මෙම කතාව වදාරා ඇත්තේ ස්ත්‍රියක් නිසා කලකිරීමට පත්ව සිටි භික්ෂුවක් උදෙසා ය. 
  
මේ ජාතක කතාව තරමක් දීර්ඝ වුව ද එහි සාරාංශයක් හෝ පළ කළ යුතු ය.
 
 
 
කතා සාරාංශය:
 
බරණැස් නුවර විසූ කසී නම් රජතුමෙකු හට ඔහුගේ අවෑමෙන් රජකම බාර දීමට පුතෙකු සිට නැත. රටේ ජනතාව මේ පිළිබඳව රජතුමාට දන්වා ඇත. අනතුරුව රජතුමා ඔහුගේ අන්තඃපුර බිසෝවරුන්ට පවසා ඇත්තේ පුතෙකු ප්‍රාර්ථනා කරන ලෙසයි.
 
ජාතක කතාකරුවාට අනුව එකල බෝධිසත්වයේ වැඩවාසය කර ඇත්තේ බඹ ලොව ය. උන්වහන්සේ බඹ ලොවෙන් නික්ම පැමිණ මේ රජතුමාගේ පුතකු ලෙස උත්පාද වී ඇත. (එම කුමරා උපන්නේ රන් දෝලියට ද, රිදී දෝලියට ද එසේත් නැතිනම් යකඩ දෝලියකට ද යන්න ජාතක කතාකරුවා සඳහන් කර නැත.)
 
අනිත්ථිගන්ධ යනුවෙන් නම් ලද මෙම කුමරු ළදරු අවධියේ සිට ම ස්ත්‍රීන් කෙරෙහි ආසක්ත නොවූවෙකි. ළදරැ අවධියේ දී ඔහු ස්ත්‍රියකගේ දෝතට යන්නට පවා මැළිකමක් දක්වා ඇත. එය හේතුවෙන් ම මේ කුමාරයාගේ මව, ඔහු ඉදිරියේ පෙනී සිට ඇත්තේ පිරිමියෙකු ලෙසිනි. මවු කිරි පොවා ඇත්තේ ද එලෙස පෙනී සිටිමින් ය. 
 
ස්ත්‍රීන් කෙරෙහි නොකැමැත්තක් දක්වන මෙම කුමරු තවත් මානසික රෝගයකින් පෙළී සිට ඇත. එනම් ඔහු නිරන්තරයෙන් ම කැමැත්ත දක්වා ඇත්තේ හුදෙකලාව විසීමට ය. ජාතක කතාකරුවා පවසන අන්දමට මේ කුමාරයා මෙවන් තත්වයකට පත්ව ඇත්තේ පෙර ආත්මයේ බ්‍රහ්ම ලෝකයේ ජීවත්වීම ය. මන්ද බ්‍රහ්ම ලෝකයේ ස්ත්‍රීන් නොමැත. එමතු නොව කාමාස්වාදය විඳීම තබා එවන් සිතුවිල්ලක් හෝ පහළ නොවන්නේ ය.
  
දැන් කසී රජු තවත් ගැටලුවකට මුහුණ පා සිටියි. මහ ජනතාවගේ අවශ්‍යතාව හේතුවෙන් අන්තඃපුර ස්ත්‍රියකගේ කුසෙන් පිරිමි දරුවකු උත්පාදනය වුව ද ඔහු පංචකාම සම්පත්තිය බැහැර කරන්නෙකි. අද මෙන් ම එකල ද රටේ නායකත්වය දරන්නට නම් ඔහු හෝ ඇය විවාහක පුද්ගලයෙකු විය යුතු ය. 
 
එසේ නම් පංචකාම සම්පත්තිය පිළිකුල් කරන පුද්ගලයෙකු විවාහ දිවියක් ගතකරන්නේ කෙසේ ද? බලහත්කාරයෙන් විවාහ කර දුන්න ද ඔහු ස්ත්‍රීන් පිළිකුල් කරන්නේ නම් එකී විවාහය අසාර්ථක වන්නේ ය.
 
 
 
සිය පුතු කාමාස්වාදය කෙරෙහි නැඹුරු කරගත හැකි ස්ත්‍රියක් ?
 
රජතුමාගේ පුතු කාමාස්වාදය (ලිංගිකාස්වාදය) කෙරෙහි නැඹුරු කරගත හැකි ස්ත්‍රියක් සිටින්නේ නම් ඇයට කුමරා විවාහ කර දෙන බව ප්‍රචාරය කිරීමට අවසන රජතුමා තීරණය කර ඇත. එම ප්‍රචාරයට ප්‍රතිචාර දක්වන්නී මාලිගාවේ ම විසූ: (ඇය කාගේ කවුද, මාලිගාවේ ම විසුවේ ඇයි ද යන්න ජාතක කතාකරුවා සඳහන් කර නොමැත) නැටුම්, ගැයුම්, වැයුම් යනාදියට සමත්, එමෙන් ම රූප ශ්‍රීයෙන් අගතැන්පත්, ස්ත්‍රී මායම් සියල්ල මැනවින් දත්, පුරුෂයන් වසඟ කරගැනීමේ අති දක්ෂ කාන්තාවකි. 
 
රජු හමුවට පැමිණ ඇය පවසන්නී කුමාරයා විවාහ කර දෙන බවට ස්ථිර ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් තමාට කුමාරයා පංච කාමාස්වාදයට පොලඹාවාගත හැකි බවයි. අනතුරුව මෙම ස්ත්‍රියගේ සියලු කොන්දේසිවලට එකඟත්වය පළ කරන රජතුමා ඇයට අවශ්‍ය සියලු පහසුකම් සපයන ලෙස රාජ පුරුෂයන්ට අණ කර ඇත.
 
පසු දින ම සිය රාජකාරිය අරඹන මෙම ස්ත්‍රිය දුහුළු වස්ත්‍රයෙන් සැරසී, වීනාවක් ද වයමින් කුමාරයා වෙසෙන කුටිය සමීපයේ සිට අතිශය රාග මිශ්‍රිත ගීතයක් ගායනා කරන්නී ය. මෙම ගීතය සවන වැකුණු සැණින් එතෙක් විරාගීව විසූ කුමාරයාගේ සිත කය දෙක ම රාගයෙන් මුසපත් වී ඇත. එසේ රාගයෙන් මුසපත් වූ කුමරු ඒ මධුර මනෝහර කටහඩ කාගේ දැයි රාජ පුරුෂයන්ගෙන් විමසා ඇත.
  
‘‘එසේ ගායනය කරන්නී ලෝක ධාතුවේ වෙසෙනෙ පුරුෂයන්ගේ සිත් ඇද බැඳ තබාගන්නට සමත් ‘ස්ත්‍රිය’ නමැත්තියකි’’ යැයි එවිට රාජපුරුෂයෝ පවසා ඇත. එබස් ඇසූ කුමාරයා පවසා ඇත්තේ ඒ ‘ස්ත්‍රිය’ නමැත්තියට මගේ සිරියහන් ගබඩාව සමීපයට පැමිණ ගායනයෙහි සහ වාදනයෙහි යෙදෙන්නැයි ලෙස අණ කරන ලෙස ය.
 
 රාජ පුරුෂයෝ එම ස්ත්‍රියට එය සැල කළ පසු ඇය ද කුමාරයාගේ සිරියහන් ගබඩාව සමීපයට පැමිණ පෙරටත් වඩා රාග මිශ්‍රිත ගීයක් ගායනා කර ඇත. එම ගායනයට සහ වාදනයට වසඟ වූ කුමරා එවර පවසා ඇත්තේ ඔහුගේ සිරි යහන අබියසට පැමිණ වාදනයේ සහ ගායනයේ යෙදෙන ලෙස ‘ස්ත්‍රිය’ නැමැත්තියට අණ කරන ලෙස ය.
 
පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය එම ස්ත්‍රිය ද තමාගේ මනදොළ සපුරාගත හැකිය යන බලාපොරොත්තුවෙන් යුතුව කුමාරයාගේ සිරියහන අබියසට පැමිණ ඔහුගේ කාම ද්වාර විවර වන ආකාරයෙන් ගයමින්, වයමින් රංගනයේ යෙදී ඇත. ඉතා මඳ වේලාවකින් එම ස්ත්‍රියගේ ද, රජතුමාගේ ද ප්‍රාර්ථනා සඵල කරමින් කුමරු ස්ත්‍රියට වසඟ වී ඇත. 
  
එකී වසගවීම කෙතරම් ද යත් දින කිහිපයක් යන තුරු ම කුමරා ඇය සමග ලිංගික සම්භෝගයේ යෙදී ඇති අතර අවසන ඉතාමත් ආත්මාර්ථකාමී තිරණයකට එළඹ ඇත. එනම්, ‘‘මා හැර ලොව වෙසන කිසිදු පුරුෂයෙකු මෙම සැපත නොවිඳිය යුතු ය.’’ යන්න ය. එසේ තීරණය කළ කුමරා තියුණු කඩුවක් අතැතිව යහන් ගබඩාවෙන් ද, මාලිගයෙන් ද පිටතට පැමිණ තමා ඉදිරියට පැමිණි සියලු පිරිමි ඝාතනය කර ඇත.
  
තත්ත්වය ඉතාමත් දරුණු වන විට රාජ පුරුෂයෝ ද මහා ජනතාව ද රජතුමාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. කසී රජු යනු වර්තමානයේ වෙසෙන රජවරු තරම් ආත්මාර්ථකාමි නොවන. පුද්ගලානු බද්ධ නොවන රජෙකු බැවින් සාධාරණ තීරණයකට එළඹ ඇත. එනම් මේ උම්මත්තක කුමරා තමාගේ ම පුත්‍ර රත්නය වන බැවින් ඝාතනය නොකර තම පාලන සීමාවෙන් පිටුවහල් කරන්නැයි රාජ පුරුෂයන්ට නියෝග කර ඇත. රාජ පුරුෂයේ ද රජ අණ ඒ ආකාරයෙන් ම පිළිපැද ඇත.
 
 
 
කතන්දරය අවසන් නැත
 
මෙම සිදුවීමෙන් අනතුරුව රාජ කුමාරයා, තමා උම්මාදයට පත් කළ ස්ත්‍රිය ද සමග බොහෝ දුර බැහැර, සයුර ආසන්නයකට පිවිස, එහි පැලක් තනාගෙන, කැලෑ කොළ සහ ගඩා ගෙඩි යනාදිය ආහාර ලෙස ගෙන ජීවිත් වී ඇත. 
 
මෙසේ කල්ගත වන විට පැල්පත අසල ආහාරයට ගත හැකි කිසිවක් නොමැති විය. පෙර රජසැප විඳි කුමරු ස්ත්‍රියක් හේතුවෙන් ම වන වැද, ශාකවල ගෙඩි ද, කොළ ද. මුල් ද, අල ද බුදිමින් සිට මේ වන විට ඈත වනයට ගොස් කුමන හෝ ආහාරයක් රැගෙන විත් සිය බිරිඳ රක්ෂා කරන තත්ත්වයට පත්ව ඇත.
 
දිනක් කුමාරයො මෙසේ ඈත වනයට ගොස් සිටි මොහොතක සෘද්ධි බලයෙන් අහසින් ගමන් කරන තාපසයෙක්, පහත වනයේ එක් තැනකින් අහසට නැගෙන දුම් රොටුවක් දැක ඇත. අනිවාර්යයෙන් මෙම ස්ථානයේ නිවහනක් ඇතැයි සැක කළ තාපසයා, එහි ගියහොත් අනුභවය සඳහා යමක් ලබාගත හැකි බව සිතා අදහසින් කුමරාගේ බිරිඳ පමණක් වෙසෙන නිවසට ගොස් ඇත.
 
සිය සැමියා නිවසේ නොමැති මොහොතේ පැමිණි මෙම පිරිමි පුද්ගලයා කවුරුන් වුව ද ඔහු වෙත ස්ත්‍රී මායම් පා ඔහු, වශිකරගත යුතු යැයි සිතු මෙම ස්ත්‍රිය එලෙස ම සිය දක්ෂතා ප්‍රදර්ශනය කර තාපසයා තමා වෙත ආසක්ත කරගෙන ඔහු සමග කාම සම්භෝගයේ යෙදී ඇත. ආහාර පිණිස යමක් රැගෙන ඒමට ගිය කුමරා ද මේ මොහොත් නිවසට පැමිණ ඇත. කුමරා එනු දුටු තවුසා නිවසේ පෑල දොරින් (කුස්සිය පැත්තෙන්) පැන මුහුද දෙසට දිව ගොස් ඇත. කුමරා ද කඩුවකුත් රැගෙන තාපසයා පසුපස හඹා ගොස් ඇත.
  
තමාගේ සෘද්ධි බලය තවමත් පවතින්නේ යැයි විශ්වාස කළ තාපසයා මුහුදට පැන පෙර සේ ම සෘද්ධි බලයෙන් අහසට නැග යන්නට උතසාහ කළ ද ඔහු යළි මුහුදට වැටී ඇත. කුමාරයාට ද යථාර්ථය වැටහී ඇත්තේ එවිට ය. 
එනම් තාපසයා තමාගේ බිරිඳ සමග කාම සම්භෝගයේ යෙදී ඇති බැවින් ඔහුගේ සෘද්ධි බලය අහෝසි වී ඇති බවයි.
 
 එවිට තාපසයා කෙරෙහි අනුකම්පා කළ කුමරා පවසා ඇත්තේ තාපසයා මරා දැමීමේ අදහස අත්හැරි බවයි. එමෙන් ම ඔහු ද කාමාසක්ත වීමේ විපාකය නිසියාකාරයෙන් අවබෝධ කරගත් බව ද තාපසයාට පවසා ඇත. 
 
ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ස්ත්‍රිය යනු උත්තම ගණයේ පුරුෂයන් පවා බියකරු දිය සුළියකට හසු කරන සත්ව කොට්ඨාසයක් බවයි. 
ඔහු තව දුරටත් තාපසයා වෙත අවවාද අනුශාසනා පවත්වා ඇත. එම අවවාද අනුශාසනා කරෙහි සමවැදුණු තාපසයා යළි ධ්‍යාන උපදවා, සෘද්ධිභාවයට පත්ව නික්ම ගොස් ඇත.
 
මේ වන විට යථාර්ථය මැනවින් අවබෝධ කරගෙන සිටි කුමාරයා සිය බිරිඳට කිසිදු උපද්‍රවයක් නොකර. ඇය මනුෂ්‍ය වාසයකට පිටත් කර හැර එතෙක් දෙදෙනා විසු නිවසේ ම තවුසකු සේ වසමින් භාවනා කර කෙලෙස් නසා අපවත්ව යළි පෙර වැඩ විසූ බ්‍රහ්ම ලෝකයට ම ගොස් ඇත.
 
 
 
මහා පලෝභන ජාතක කතාවේ වෙනත් මාන
 
මෙම ජාතක කතාවේ මතුපිටින් දක්නට ලැබෙන්නේ ස්ත්‍රියකගේ ‘අවකල්’ යැයි සම්මත ක්‍රියා සහ එය හේතුවෙන් ම විනාශ මුඛයට ගිය පුරුෂ පාර්ශ්වයේ කතන්දරයකි. නමුදු මෙම ජාතක කතාව පිළිබඳ ගැඹුරින් විමර්ශනය කිරීමේ දී තවත් බොහෝ කරුණු හෙළිදරව් කරගත හැකිය.
 
# නායකත්වය සඳහා පාරම්පරික උරුමකරුවන් සෙවීමේ සහ එබඳු පුද්ගලයන් නායකත්වයට පත් කරගැනීමේ විපාක
 
# උපතින් ම කිසියම් මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙකුට නායකත්වය ලබාදීමට උත්සාහ කිරීමේ විපාක
 
# කිසියම් රටක නායකත්වය දරන්නා හෝ දරන්නිය විවාහක පුද්ගලයෙකු ම විය යුතුය යන ආකල්පයේ විපාක
 
# නායකත්වය ලබා දීමේ බලාපොරොත්තුවෙන් පමණක් ම දරුවන් හදා වඩා උස්මහත් කිරීමේ විපාක
 
# කිසියම් පුද්ගලයෙකු අකමැති යමක් වේ නම් ඒ සඳහා ඔහු හෝ ඇය බලයෙන් පෙලඹවීමේ විපාක
 
# කාන්තාවක් සහ පුරුෂයෙක් අතර පැවතිය යුතු අධ්‍යාත්මික බැඳීම නොතකා ගැහැනිය යනු පිරිමින්ගේ ආශා සන්තෘප්ත කිරීමට තිබෙන යන්ත්‍රයක් යැයි සිතා කටයුතු කිරීමේ විපාක
 
# පුරුෂයෙකු සමග බැඳෙනවා යනු හුදු කාමභෝගී ජීවිතයක් පවත්වාගෙන යාම පමණක් යැයි සිතීමේ, සිතා කටයුතු කිරීමේ විපාක
 
ජාතක කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ගැඹුරින් විග්‍රහ කළ විට මෙහි අන්තර්ගත යටි පෙළ යට සඳහන් පරිදි පෙළගැස්විය හැකි ය. මේ එක් එක් කරුණ වුව වෙන වෙන ම ගෙන විග්‍රහ කළ හැකි ය. එහෙත් පාඨක ප්‍රජාවට ද යම් අභ්‍යාසයක් ලබා දීමේ අරමුණ පෙරදැරිව දැනට ‘‘මහා පලෝභන ජාතකය’’ විමසීම නිමා කරමි.
 
 
Jayasiri Alawaththa
 
ජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 2021/06/04  
 
 
 
 
ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :
 
 
 
 
 
 
 
 
 

 


 

THE LEADER TV 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

 

එක්ස්ප්‍රස් පර්ල් ගිල්වලා වන්දිය ගිලින්නෙ කවුද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්