1200 x 80 DMirror

 
 

‘ම්ම්ම්... දැන් තමයි අර ප්‍රශ්නෙ අහන්න හොඳ ම අවස්ථාව... කෙළිං ම අහනව ද... එහෙම නැත්නං... නෑ... ආයෙ මොකටද වටේ යන්නෙ... කෙළිංම අහන්න

ඕනෙ...’

පෙර දින සවසත්, අද උදෑසනත් ප්‍රතිෂ්ඨ දුටු දසුන් කිහිපයක් පිළිබඳව සචේතනීගෙන් විමසිය යුත්තේ කෙසේ ද යන පැනයට ඔහු විසින් ම විසඳුමක් සොයාගත්තේ ය.

‘‘සචේති...,’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ වෙනත් කිසිදු වදනක් මුදා නොහරිමින් ම ඉදිරියට අඩි කිහිපයක් ගමන්කළේ මෙතෙක් දුර පැමිණි ආකාරයට ම ය.

‘‘ඇයි ප්‍රතිෂ්ඨ... මගේ නම අමතක වෙයි වගේ ද...?’’

 

5293517 HSC00001 7සචේතනී ඉතා සැහැල්ලු සිනාවකින් උවන සරසාගෙන ම විමසුවේ ප්‍රතිෂ්ඨගේ සිත තුළ තෙරපෙන පැනය පිළිබඳ අංශු මාත්‍රයක් හෝ නොදැන ය. ප්‍රතිෂ්ඨ නිහඬව ම ඉදිරියට ම ගමන් කළේ සිතාමතා ම ය; ඔහුගේ මෙම හැසිරීම සචේතනීට ගැටලුවක් වන බව දැන දැන ම ය.

 

ප්‍රතිෂ්ඨ ජයග්‍රහණය කළේ ය; එක පැහැර ම ගමන නතර කළ සචේතනී ඇගේ වමතින් ප්‍රතිෂ්ඨගේ දකුණත අල්ලාගෙන නතර වූවා ය.

‘‘ප්‍රතිෂ්ඨ...! මොකද්ද මේ ඔයාට වෙලා තියෙන්නෙ...?’’

සචේතනී විමසුවේ හිතවතකුගෙන් හෝ මිතුරකුගෙන් විමසන ලෙස නොව සැමියාගෙන් හෝ පෙම්වතාගෙන් විමසන ආකාරයෙනි. සත්‍ය වශයෙන් ම ඇය එතරම් නොසන්සුන් වෙතැයි ප්‍රතිෂ්ඨ ද බලාපොරොත්තු නොවිණ.

හිස දකුණු පසට මඳක් ඇල කර, විශ්මයාර්ථ ලකුණු විහිදමින් ප්‍රතිෂ්ඨගේඋවුවනතෙහි අලවාගෙන සිටින සචේතනීගේ දෙනෙත් මත සිය දෙනෙත් ඇලවූ සැණින් ආපසු ගලවාගත් ප්‍රතිෂ්ඨ ‘‘ඇයි...?’’ යැයි විමසා යළි ගමන් ඇරඹුවේ මන්දස්මිතයක් ද උවනතෙහි සිතුවම් කරගන්නා අතර ම ය.

‘‘ඒක ම තමයි මාත් අහන්නෙ... ඇයි කියල අහන්න ඕනෙ ඔයා නෙවෙයි මම...’’

ඇගේ ස්වරය ශෝකී බව ද රළු බව ද මිශ්‍රිත ය. එය මායිම් නොකරමින් ම යළි සමච්චල් සිනාවකින් උවනත සරසාගත් ප්‍රතිෂ්ඨ ‘‘මෙහ්... අපිට නොපෙනුණාට අහල පහල මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සු හිතයි අපි රංඩු වෙනව කියල. ඉස්සෙල්ල ම මගේ අත අතාරින්නකො...’’

සචේතනි පියවි සිහියට එළඹියේ ඒ නිමේෂයේ ය. එතෙක් ඇය කළ කී දැ කිසිවක් ම ඇය නොදැනුවත්ව ම සිදු කළා බඳු ය.

‘‘සොරි ප්‍රතිෂ්ඨ සොරි...’’ යැයි පැවසූ සචේතනී ප්‍රතිෂ්ඨගේ අත අතැර, හිස පොළොවට නැඹුරු කරගත්වන ම ඔහුට සමාන්තරව ම ඉදිරියට ඇවිද ගියා ය.

‘‘අපි පොඩ්ඩක් ලොබි එකට යමු ද...?’’

ප්‍රතිෂ්ඨ ඉතා සිහින් ස්වරයෙන් විමසී ය. කිසිදු වදනක් මුදා නොහැරිය සචේතනී පොළොව දෙසට හිස නැඹුරු කරගත්වන ම ගමනේ යෙදෙන අතර ම හිස දෙපසට වැනුවා ය. ඒ අංග චලනයේ ලියැවි තිබුණේ ‘‘බැහැ’’ යන්න නොව ‘‘හා’’ යන්න බව ප්‍රතිෂ්ඨට දැනිණ. ඔහු නිහඬව ම ඉදිරියට ගමන් කළේ ය; සචේතනී ද නිහඬව ම ප්‍රතිෂ්ඨට සමාන්තරව ම ගමන් කළා ය.

 

do men cheat more


මිනිත්තුවක් පමණ නිහඬව ම ගමන් කළ දෙපළ ලොබියට පැමිණි පසු ප්‍රතිෂ්ඨ එහි පනවා තිබු සෝපා කට්ටලයේ එක් අසුනක අසුන් ගත්තේ ය. ඒ අසුනේ සිට ඍජුව ම ඉදිරිපස බලන විට දක්නට ලැබෙන්නේ ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු වන සහ පිටවන අය යි. ඒ අතර ම වාහනාංගනයට ඇතුළුවන සහ පිටවන වාහන ද දිස් වේ. ප්‍රතිෂ්ඨ එම අසුනේ අසුන් ගත්තේ හිතාමතා ම ය. ඔහුගේ දෙනෙත් සැරි සැරුවේ ප්‍රධාන ද්වාරයේ හිස් අවකාශය තුළ ය. සචේතනී අසුන් ගත්තේ ප්‍රතිෂ්ඨ අසුන්ගත් අසුන වම් පස පිහිටි අසුනේ ය. අසුන් යුගල පිහිටා තිබුනේ ඉංග්‍රිසි L අකුරේ හැඩයට ය. සචේතනී, ඇගේ අත් බෑගය දෙකළවා මත තබා, දෑත් එකට මිටි කර, දෙවැලමිටිවල බර දෙකළවය මත පටවා,  සිරුර මඳක් ඉදිරියට නවා ඍජුව ම ප්‍රතිෂ්ඨගේ උවන මත ඇගේ දෙනෙත් වැතිරුවා ය. ඉක්බිති ‘‘ඉතිං... කියන්න...’’ යැයි පැවසුවේ දඟකාර යොවුන් යුවතියක මෙනි.

‘‘මොනව ද...?’’

වහා හිස සචේතනී දෙසට හැරවූ ප්‍රතිෂ්ඨ කිසිදු හැඟීමකින් තොරව මෙන් විමසී ය.

‘‘මොනවද කියන්නෙ...! දැන් එන ගමන් මොකක් හරි කියන්න හැදුව නේද...? අන්න ඒක...’’

ඉඳ සිටි ඉරියව් මඳක් හෝ වෙනස් නොකරමින් ම පැවසු සචේතනී ප්‍රතිෂ්ඨ වෙත වශීකෘත බැල්මක් හෙළුවා ය.

සචේතනිගේ වශීකෘත භාවය බිඳකුදු මායිම් නොකළ ප්‍රතිෂ්ඨ ‘‘ආ... ඒක ද...?’’ යැයි විමසා, ඇඟමැළි කඩන ආකාරයක් පෙන්වා යළි පෙර සේම සිරුර සකසා ගත්තේ ය.

‘‘ඔවු... ඒක තමයි...’’

පෙර සේ ම සචේතනී සිහින් ස්වරයෙන් විමසුවා ය.

එවිට සචේතනී සිටි ඉරියව්වට ම පැමිණි ප්‍රතිෂ්ඨ ‘‘ආ... කියන්න හැදුවෙ ද...’’ යැයි පවසා යළි නිහඬව ම මඳ වේලාවක් ප්‍රධාන ද්වාරයේ හිස් අවකාශයේ දෙනෙත් ඇලෙව්වා ය.

‘‘ඔවු අනේ... මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ...?’’

සචේතනී තවමත් සිටි ඉරියව්වේ ම ය; ප්‍රතිෂ්ඨ, සිය දෙනෙත් තුළින් විහිදෙන ආලෝක ධාරා සචේතනිගේ සිරුර පුරා තවරන අතර ම යළි පෙර ඉරියව්වෙන් ම සිරුර සකසා ගත්තේතේ ය.


‘‘ආ... මේ... ඔයා දැන් ටිකකට ඉස්සරවෙලා මේ... අපි එන අතරතුර මට චෝදනාවක් කරා නේද...?’’යැයි සචේතනිගෙන් විමසී ය.

‘‘චෝදනාවක්!’’ යනුවෙන් ම විමසූ සචේතනී ද එතෙක් ඉඳ සිටි ඉරියව්ව වෙනස් කර ප්‍රතිෂ්ඨ ඉඳ සිටින ආකාරයට ම ඇගේ සිරුර ද සකසාගත්තා ය.

‘‘ඔවු... අර කිව්වෙ... මේ... මං ඇඟේ-පතේ නොගෑවි බොරු කියනව කියල...’’ යැයි විමසුවේ උවනෙහි මඳ අඳුරු පැහැයක් ආලේප කරමිනි.

ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ බරසාර ලෙස වුව ද එය එතරම් මායිම් නොකළ සචේතනී ‘‘ඔවු... ඇයි ඔයා බොරු කිව්වෙ නැද්ද... හරි... නැද්ද... බොරු කියක් නං කිව්ව ද...?’’ යැයි විමසුවේ ඇගේ ශ්වේත පැහැති දසන් දෙපළෙන් විහිදෙන ආලෝක ධාරවෙන් ප්‍රතිෂ්ඨගේ උවනත වැසී තිබූ මඳ අඳුරු පැහැය මත ආලෝකය අතුරමිනි.

‘‘මං ඒ වෙලාවෙ ඒ හැම බොරුවක් ම කිව්වෙ ඔයාගෙයි මගෙයි නිදහස වෙනුවෙං. එහෙම නොකිව්ව නං ඉතිං අද අපේ වැඩේ කරගන්න වෙන්නෑ. උංගෙ ප්‍රශ්නවලට උත්තර දිදී ඉන්න වෙනව.’’



ප්‍රතිෂ්ඨගේ උවන යළි මඳ අඳුරු වළාවකින් වැසිණ. ඔහු කිසියම් සිත් තැවුලකින් පසුවන බව සචේතනී වහා අවබෝධ කරගත්තා ය. ඇය ක්ෂණිකව ම සිරුර මඳක් ඉදිරියට නමා හිස ප්‍රතිෂ්ඨගේ උවන දෙසට යොමු කළා ය; ප්‍රතිෂ්ඨගේ දෙනෙත් යොමු වී තිබුණේ ඔහුගේ ම උකුළ මතට ය.



සචේතනී,  දකුණතේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල ප්‍රතිෂ්ඨගේ සවිධගට තබා ඔහුගේ හිස මඳක් ඉහළට ඔසවා ඍජුව ම ඇගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් තුළට ප්‍රවේශ කළා ය. තත්පර කිහිපයක් දෙදෙනාගේ නෙත් සැර එකිනෙක පැටලිණ.

‘‘අයියෝ... ඕක ද මේ අවුල...? මං ඒ කිව්වෙ ඇත්ත උනත් එහෙම කිව්වෙ විහිළුවට... මට තේරුණා එයාල ඔයාට කොච්චර හිතවත් ද කියල. එහෙම හිතවත් වෙච්ච එක ගැනත් මං පුදුම වෙන් නෑ. මොකද මං පවා දැං ඒ තත්ත්වෙට පත්වෙලා ඉන්න නිසා. මං ඔයාව දැක්කෙ ඊයෙ; අඳුර ගත්තෙ ඊයෙ; කතා කරේ ඊයෙ. ඒත්...’’ යැයි පැවසූ සචේතනී කඩිනමින් ම ප්‍රතිෂ්ඨගේ සවිධගින් ඇගේ දෑඟිලි ඉවත් කරගන්නා අතර ම සිරුර ඍජු කර අසුනට හේත්තු වුවා ය.

‘‘හරි... එහෙනං මං මෙහෙම ඇහුවොත්...’’ යැයි විමසූ ප්‍රතිෂ්ඨ සචේතනීගේ උවන වෙත දෙනෙත් යොමු කළේ ය.

‘‘කොහොම ද...?’’

සචේතනී විමසුවේ තරමක් මවිතයෙනි.

‘‘ඔයා මට බොරු කියල ම නැද්ද... මං අහන්නෙ හිතා මතා ම නෙවෙයි... වැරදිලා හරි...’’

ප්‍රතිෂ්ඨ විමසුවේ චෝදනා ස්වරුපයෙන් නොවුණ ද ඒ වදන් සචේතනිගේ හද ගැස්ම තීව්‍ර කළේ ය.

‘‘මං...! ඔයාට...!! මං ඔයාට බොරු කිව්ව... මොකද්ද මං ඔයාට කියපු බොරුව... ඔයාට පිස්සු ද...?’’

ඇය බොහෝ සේ නොසන්සුන් වූවා ය; ඇගේ උවන විලිකුන් පැහැයෙන් වර්ණවත් වී තිබිණ.

‘‘ඔය ඔය... කලබල වෙන්නෙපා... සමහර විට ඔයා හිතල එහෙම කරන්න නැතුව ඇති. අනික මේ... ඒක ඔයා බොරු කිව්වමත් නෙවෙයි...’’

සචේතනීගේ ක්ෂණික විපර්යාසය හඳුනාගත් ප්‍රතිෂ්ඨ ඇය සනසනු වස් සැහැල්ලු වදන් මුදා හැරී ය.

‘‘එහෙනං...?’’

ඇය විමතියෙන් මෙන් විමසුවා ය.

‘‘මෙහෙමයි... මං මේ ඔයාගෙ පුද්ගලික ජීවිතේට ඇගිලි ගහනව නෙවෙයි... තවම අපි දෙන්න හම්බවෙලා පැය විසිතරක් ගෙවුණ විතර නෙ... ඒත්...’’

ප්‍රතිෂ්ඨ යළි නිහඬ ය; නිහඬව ම පසුවන්නේ සචේතනීගේ නොසන්සුන් බව අධ්‍යයනය කරමින් ය.

‘‘ප්‍රතිෂ්ඨ... අපි හම්බ වෙලා පැය විසිහතරක් උනත් මට ඔයා මගේ හොඳම යාළුවට සමානයි. කියන්න... මං ඔයාට කියපු හරි කරපු හරි බොරුව මොකද්ද... අනික මං මොකටද ඔයාට බොරු කියන්නෙ... මොකටද මං ඔයාට බොරු කරන්නෙ...?’’

Carl Thomsen A couple talking at a party while a woman is eavesdropping Signed with monogram and dated 1885 Oil on canvas 40 1645228608 8826 thumb

සචේතනී බරපතළ ලෙස අසරණභාවයට පත්ව සිටින්නී ය. ඒ, ඇය මේ විසිහතර පැය තුළ සිතා මතා නම් ප්‍රතිෂ්ඨ හට කිසිදු බොරුවක් පවසා නැති බැවිනි; කිසිදු වංචාවක් නොකළ බැවිනි.

‘‘හරි හරී... කලබල වෙන්න හරි මං ගැන වැරදියට හිතන්න හරි එපා... මං මේක ඔයාගෙං අහන්නමයි හිටියෙ...’’

ප්‍රතිෂ්ඨ යළි නිහඬ විය. ඔහු මේ කරන්නේ වැරැද්දක් දැයි ඔහුගෙන් ම විමසී ය. ‘වැරැද්දක් වෙන්න පුළුවන් බං... ඒත් එක අහල උඹේ හිත නිදහස් කරගනිං. නැත්තං උඹට ඔය ගමන ඉස්සරහට යන්න බැහැනෙ බං,’ ඔහුගේ ඇතුළු සිත ඔහුට පැවසී ය.

‘‘අහන්න ප්‍රතිෂ්ඨ... ඕන දෙයක් අහන්න... මං දැනුවත්ව නං ඔයාට බොරුවක් කියල නෑ. හැබැයි ඉතිං මං ගැන නොකියපු දේවල් නං ඕන තරං ඇති. ඔයා ඔයාට හිතෙන දෙයක් අහන්න. එතකොට මං කියන්නං. ඒ ගැන අවුලක් හිතන්න එපා.’’

මෙතෙක් ඇගේ උවනතේ ආලේප වී තිබු විලිකුන් පැහැය කෙමෙන් කෙමන් දියව ගොස් රන් තැඹිලි පැහැයකින් වර්ණවත් වෙමින් පැවතිණ.

‘හිතට ගට ගනිං බං... මේක තමයි උඹට අහන්න තියෙන දේ අහන්න හොඳ ම වෙලාව. අහපං... අහපං...’

ප්‍රතිෂ්ඨගේ ඇතුළු සිත ඔහුට බල කළේ ය; ඔහුට දිරි ලබා දුන්නේ ය.

 ‘‘හරි... මං මෙහෙම අහන්නංකො... මට කියන්න... ඔයා ඊයෙ යද්දි කවුරු එක්ක ද ගියේ... අද එද්දි කවුරු එක්ක ද ආවෙ...?’’

ඉවර නෑ...


jayasiri 04 e1619629387941.jpg

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/05/20



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58