ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (15) පැවැත්වේ.
ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි. බංග්ලාදේශයේ සිල්හෙට්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1ට තරගය ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පෙරේදා (13) සමත් විය.
එසේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ආසියානු කුසලානයක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ වසර 14 කට පසුවය. මීට පෙර 2008 වසරේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් තරඟයට සුදුසුකම් ලැබිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලානයේදී මීට පෙර අවස්ථා 04 කදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇති නමුත්, එම කිසිදු අවස්ථාවකදී ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකියාවක් නොලැබිණ. මින් පෙර හමු වූ අවස්ථා හතරේදීම (2004, 2005, 2006, 2008) ඉන්දියාව ශූරතාව දිනාගත් බැවින් පළමු වරට ආසියානු ශූරියන් වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරගයට එක් වෙයි.
කෙසේ වෙතත් එම තරගාවලි 4ම එක්දින තරගාවලි ලෙස පැවති අතර, ඒ අනුව පන්දුවාර විස්සයි 20 තරඟ රටාව යටතේ පැවති ආසියානු කුසලාන තරඟාවලිවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එහි අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාව මෙවර අවසන් තරගයට එක්වන්නේ අඛණ්ඩව 8 වැනි වරටය.
ඔවුන් මේ තරගාවලිය ආරම්භ වූ 2004 වසරේ සිට 2016 අතර පැවති තරගාවලි හයේම ශූරතාව දිනා ගත්තේය.
ඉන්දීය ක්‍රීඩිකාවන් අවසන් වරට (2018) පැවති තරගාවලියේදී අහිමි වී ගිය අභිමානය යළි අත් කර ගැනීමේ අදිටනින් අද තරගයට එක් වන අතර, ඔවුන්ට අවසන් වරට පැවති තරගාවලියේදී බංග්ලාදේශය හමුවේ අනුශූරතාවයෙන් සෑහීමට සිදුව තිබිණි.
මේ දෙපිල ආසියානු කුසලාන තරග බිමේදී මින් පෙර 19 වතාවක් (එක්දින 14ක් සහ විස්සයි20 තරග 4ක්) හමුව ඇති අතර, 2012 වසරේ මූලික වටයේ තරගය පමණක් අත්හැර දමා තිබේ. සෙසු තරග සියල්ල ජය ගැනීමට ඉන්දියාව සමත්ව ඇත.
දෙපිල අවසන් වරට මේ තරගාවලිය ආරම්භ කරමින් මූලික වටයේ තරගයට එක් වූ අතර, එය ලකුණු 41කින් ජය ගත්තේ ද ඉන්දියාවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමේ අවස්ථාව අද උදා වී තිබේ.
සබැඳි පුවත් :
පකිස්ථානය පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අවසන් මහා තරගයට
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න