'එක්ස්ප්‍රස් පර්ල්' මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් 'බරපතළ අපරාධකරු' වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ පැවසිය.
සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් බව විමල් වීරවංශ කියා සිටියේය.
ඒ නිසා 'වහෙන් ඔරෝ' භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට අභියෝග කරන බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවද ඔහු පැවසිය.
''විජයදාස කියන කෝටි 8000 මුදල වැටුණේ කාගේ සාක්කුවට ද'' ? - ඩලස් අලහප්පෙරුම
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපල රාජසන්තක කිරීමට සැරසෙන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට express pearl නෞකා සිදුවීමෙන් ලබාගැනීමට ඇති වන්දි මුදල ලබා ගැනීමට හෝ නීතී කටයුතු කිරීමට කිසිදු උනන්දුවක් නැති වීම කනගාටුදායක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි .
ඔහු මේ බව සඳහන් කළේ නිදහස ජනතා සභාව විසින් පසුගිය 21 දා කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.
මීට වසර දෙකකට ආසන්න කාල සීමාවකදී අපේ මුහුදු සීමාව ආසන්නයේ අනතුරට ලක් වූ ලක්වූ express පර්ල් නෞකාව පිළිබඳව ඔබ කවුරුත් දන්නවා. නමුත් මේ පිළිබඳව තිබුණු කතාබහ මාධ්‍ය අවකාශයෙන් මෙන්ම සමාජය තුළිනුත් අද නැවතිලා ...නමුත් එය සිදු නොවිය යුතු තත්ත්වයක් ..
තත්ත්වය මෙහෙම තියෙද්දී තමයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වන්නේ. ඒක ඉතාම බරපතළ තොරතුරු සහිත ප්‍රකාශයක්..එතුමාගේ ප්‍රකාශය තමයි express pearl නෞකාවේ සිදුවීම යටපත් කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් හෙවත් රුපියල් කෝටි 8000 ට වැඩි මුදලක් ශ්‍රී ලාංකිකයෙකුගේ, සිංහල නමක් සහිත පුරවැසියෙකුගේ ගිණුමකට බැර කර ඇති බව, මෙම මුදල ඔහුට ලබාදී ඇත්තේ මෙම සිදුවීම යටපත් කිරීමටයි.
එසේනම් මෙම සිද්ධිය යටපත් කිරීමට හැකියාවක් ඇති පුද්ගලයෙක් මෙම මුදල ලබාගෙන ඇතැයි යන සැකය අප හටද මතුවෙනවා. මේ ප්‍රකාශය පොලිස්පතිවරයාට යොමු කරන්නේ රටේ වර්තමාන අධිකරණ කැබිනට් අමාත්‍යවරයා. එනිසා මෙය සුළුවට ගත යුතු තත්ත්වයක් නොවන බවයි මගේ හැඟීම. ඒ නිසා මේ මුදල් කන්දරාව ගත්තේ කවුරුන් ද මේ සිද්ධිය යටපත් කරන්නේ කවුරුන්ද යන්න රටට වහාම හෙළි කළ යුතුයි ...
මේ මුදල් ගත්ත පුද්ගලයින් මෙම සිදුවීම හරියටම සිදුකරමින් තිබෙන බව අද වන විට පෙනී යමින් තිබෙනවා .
මෙම සිදුවීමට නඩු පැවරීමට වසර දෙකක කාලයක් ඉතිරිව තිබුනත් අද (අප්‍රේල් 21 වැනිදා) වන විට ඉතිරිව ඇත්තේ තව දින විසි අටයි. මෙම දින කීපය ගත වූවායින් පසුව එම සමාගමට එරෙහිව නඩු පැවරීමට නොහැකි වනවා සේම අපට ලබාගත හැකි ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 කට ආසන්න වන්දි මුදල අහිමි වී යන තත්ත්වයකට පත්වන බව තමයි තොරතුරු වාර්තා වන්නේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක වගේ විශාල මුදලක් ගැන අවධානය යොමු කරද්දී අපිට කියන්න තියෙන්නේ අපි රටක් ජාතියක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ සියළු කොන්දේසි වලට යටත්ව නොවදින වැඳුම් වැඳ ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල මෙන් දෙගුණයක මුදලක්. එය ණයක් නොව අපට ලැබිය යුතු වන්දි මුදලක්.
මෙම නෞකා සිදුවීමෙන් අනතුරුව මේ කාලසීමාවෙන් වැඩි කාල කාලයක් රටේ ජනාධිපති වරයා විදිහට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඔහු අද වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපල රාජසන්තක කරන්න කතා කරමින් ඉන්නවා. හැබැයි රටට හිමිවිය යුතු වන්දි මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක වන්දි මුදල ලබා ගැනීම සඳහා නඩු පැවරීම හෝ ඉදිරි නෛතික කටයුතු කිරීමට එවැනි අවධානයක් හෝ යොමු කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි යන්න අද ජාතිය ඉදිරියේ පවතින බරපතළ ප්‍රශ්නයක් බව මගේ හැඟීමයි....
''එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක්'' - චම්පිකගේ හෙළිදරව්වක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී ඔහු එබව සඳහන් කළේ, ''ගිනිගත් නැවෙ වන්දිය ගත්තම අපිට IMFවලට යන්න ඕන නැති තත්ත්වයක් ද තියෙන්නෙ?'' යයි මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරිමකදීය.
43 සේනාංකයේ නායකයා එහිදී තවදුරටත් මෙසේ කරුණු ගෙනහැර දැක්විය.
''නැවේ බ්ලැක් බොක්ස් එකත් අතුරුදහන්''
'' මේකේ පටන් ගැන්මේ ඉදන්ම මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ හා ඔහු වටා හිටපු සහචර, අනුචර පිරිස් වගකියන්න ඕනේ. මොකද මේ නැව කටාර් රාජ්‍යයට ආවා. කටාර් රාජ්‍යයට ආපු වෙලාවේ, දැනගත්තා නැවේ තියෙන ඇතැම් රසායන ද්‍රව්‍ය අනතුරුදායක විදියට කාන්දු වෙමින් තිබෙන බව. කටාර් රාජ්‍යයෙන් පිටමං කරාම ඉන්දියාවට ආවා. ඉන්දියාව ඒක පිළිගත්තෙත් නැහැ. ඒ අනුව තමයි ලංකාවට ආවේ.
එතකොට ලංකාවට ආවට පස්සේ ලංකාවට ආපු එකේ හාමාස්ට එහෙම නැත්නම් වරායට එහෙම නැත්නම් අර අපි කියන ජෙනරාල්ට දුන්නු ලිපි ඊමේල් ඒ වගේම මේ නැවේ බ්ලැක් බොක්ස් මේ ඔක්කොම අතුරුදහන්. ඒ කියන්නේ නඩු පැවරීම සඳහා තියෙන නඩු භාණ්ඩ ටික ඔක්කොම අතුරුදහන්. කාටද මේවා කරන්න පුළුවන්? මේවා කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කාලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිට්ටු වෙලා හිටපු අයට පමණයි.
ඒ අනුව මේ ගෝඨාභය මහත්තයා මේ ගොඩබිමට විතරක් නෙමෙයි මේ විනාශය කළේ පොහොර නොදී. අපේ සාගර ජල තලය. ඒ තියෙන අපේ සාගර සම්පත තව සියවස් ගාණකට විනාශ කළා.
නාවික ක්ෂේත්‍රයේ ඉන්න කුප්‍රකට පුද්ගලයෙක් !
මේ සම්බන්ධයෙන් නඩුව යට ගැහීම සඳහා, ඊමේල් පණිවිඩ මකා දාන්න, තොරතුරු දත්ත පද්ධතිය මකා දාන්න. නැවේ තිබුණු කළු පෙට්ටි අතුරුදහන් කරන්න ක්‍රියා කරපු ජාවාරම්කාර පිරිස, ඒ වගේම ලංකාවේ එක් නාවික ක්ෂේත්‍රයේ ඉන්න කුප්‍රකට (නම කියන්නත් කැතයි) පුද්ගලයෙක් කිව්වා මේ නැව ඇදගෙන යනවා කියලා. මම ගිහිල්ලා මේක ප්‍රශ්නෙ බේරනවා කියලා. ඉතින් ඒ නිසා ඔහුට ඒ බලය ලැබුනේ ගෝඨාභය රාජපක්ෂගෙන්. ඒ නිසා දැන් ගෝඨාභය රාජපක්ෂ දැන් පලවාහරින ලද සිවිල් පුරවැසියෙක්. ඔහු මෙයට වගකිව යුතුයි. ඔහුව දැන් ගෙන්නන්න ඕනේ මේ අධිකරණයට ඒක ඉතාම අත්‍යවශ්‍යයි දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව.
ඒ අනුව මම නම් හිතන්නෑ මේකත් අර මහ බැංකු ප්‍රශ්නය වගේම කෙරෙන මඟුලක් නෙවෙයි. මොකද මේකට බොහෝ බලගතු පිරිස් සම්බන්ධයි. ලොකු මුදල් ගණුදෙනු ක්‍රියාත්මක වෙනවා. ඩොලර් බිලියන 6.4 ක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම දැවැන්ත මුදලක්. IMF එකෙන් 8% පොලියට, IMF එකෙන් අපට ලැබුනෙ ඩොලර් බිලියන 2.9 යි. ඒ වගේ දෙගුණයකට වැඩි මෙහෙ නිකන් ලැබෙන්න යනවා. ඒ නිසා මේක අපි හිතන්නෑ වෙයි කියලා. හැබැයි මේක මේ රටේ පුරවැසියෝ දැනගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ වටා හිටි චෞර පිරිස, ඒ අනුචර, සහචර ජාවාරම්කාර කල්ලියේ තවත් ජාවාරමක් අර සීනි වංචාව, පොල්තෙල් වංචාව හා අනෙක් වංචාව වගේ තවත් වංචාවක් මේක.''
එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?
මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?
එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!
එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට
එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා