ආණ්ඩුවේ කොටස්කරුවන් වී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදාගැනීම සදහා මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා දෙමළ පක්ෂවලට කළ ආරාධනය දිගටම ප්‍රතික්ෂේප වෙමින් තිබේ.


එජාපය සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවා ජාතික ප්‍රශ්නය විසඳීමේ ජනපති යෝජනාව බැහැර කරන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ  එම්.ඒ සුමන්තිරන් පවසන්නේ විසඳීමක් ලබා දෙන්නේ නම් මධ්‍යම ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ කෙසේදැයි සලකා බැලිය හැකි බවයි.

"එතුමා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න ඒකට අපි සහභාගී වෙන්න ඕනේ කියලා කිව්වනං ඒක වෙන දෙයක්. මේ ජනවාර්ගික ප්‍රශ්නයට විසදීමක් දෙන්නට අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න ඕනේ නෑ. විසදීමක් ලබා දුන්නනං ඉන් පසුව ජාතික මට්ටමෙන් නැත්තං මධ්‍යම ආණ්ඩුවේ අපි කොහොමද අපේ සහභාගීත්වය දෙන්න ඔන කියලා අපි හිතා බලලා ඒක ගැන කටයුතු කරන්න අපි සුදානම්."


ජනාධිපති ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව පවත්වන ලද පළමු මැයි දිනයට විද්‍යුත් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියේ "ද්‍රවිඩ පක්ෂ වලට මම කියනවා මේකෙන් ඈත් වෙලා වැඩක් නෑ. මේ රටේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසදන්නනං කරුණාකරලා මේ ක්‍රමවේදයට ඇවිල්ලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් හැටියට අපි ඔක්කොම ක්‍රියා කරමු," යනුවෙනි.

ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ දෙවැනි පක්ෂය වන්නේ විසඳුම් ඉල්ලා ජනාධිපති සමග මේ වසර මුලදී බහුපාක්ෂික සාකච්ඡාවට ගොස් හිස් අතින් ආ දෙමළ ජාතික සන්ධානයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ආණ්ඩුව සමග හවුලේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම ලෝක කම්කරු දිනයදා තරයේ ප්‍රතික්ෂේප කළේ “ඒකීය රාජ්‍යයක් තුල දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් නැතැ,” යි  පවසමිනි.

2023 පෙබරවාරි මස 4 වැනිදාට පළමු ජාතික ප්‍රශ්නය විසඳන බවට සහතික වෙමින් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමග පැවත් වු සාකච්ඡා හතරක් මෙන්ම මේ වසරේ ජනවාරි 26 වැනිදා පැවැත්වු බහු පාක්ෂික සමුළුව කිසිදු ප්‍රගතියකින් තොරව නිමාව දුටු ආකාරය එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

"අපි මේක කඩා කප්පල් කරා කියලා චෝදනාව අපිට එන්න උවමනාවක් නෑ. ඒ නිසා අපි මුළුම අපේ සහාය මේකට දෙනවා කියලා ඒ සමුළුවට පමණක් නෙමෙයි ඉන් පසුව දෙමළ දේශපාලන පක්ෂත් එක්ක කරපු සාකච්ඡා හතරක් තියනවා. ඒ හතරටම අපි ගියා."


 
 පෙබරවාරි 8 වැනිදා  පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ කරමින් කළ රාජාසන කතාවේද ජනවාර්ගික ප්‍රශ්නයට විසදීමක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් දැක්වු නමුත් මේ වන තෙක් එම පොරොන්දු කිසිවක් ඉටු නොකළ බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසන්නේ.

දෙමළ දේශපාලන පක්ෂ ඈතින් සිටීම නිසා තමන්ට ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම් ලබා දීම අපහසු වී ඇති බවට ජනාධිපතිවරයා මැයි දිනයේදී  සිදු කළ ප්‍රකාශය සත්‍ය නොවන බව අවධාරණය කරන ටී.එන්. ඒ මන්ත්‍රීවරයා පවසන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසදීමට ආණ්ඩුව පියවර ගන්නේ නම් සහාය ලබා දීමට දෙමළ ජනතා නියෝජිතයන් සුදානම් බවයි.

"එනමුත් දැන් එතුමා කියපු පරිදි කටයුතු කරනවා නම් ඒකට අපේ සහභාගීත්වය මුළුමනින්ම තියන බව ජනාධිපතිතුමාට කියන්න කැමතියි."


සබැඳි පුවත් :
ඒකීය රාජ්‍යය යටතේ දෙමළ ප්‍රශ්න විසඳීමට ජනපති කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්