යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකයක් කඩා බිඳ දැමීමට මුල්වූ උපකුලපතිවරයා විසින්ම තුන් දිනකට පසු අලුතින් එය ඉදි කිරීම වෙනුවෙන් මුල්ගල තැබීම ශ්‍රී
 
ලංකාවේ ප්‍රමුඛතම ගුරු සංගමයක ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.
 
පළමු මුල්ලිවයික්කාල් ස්මාරකය බිඳ හෙලීමට කටයුතු කළ උපකුලපති ඒ අසලින්ම මුල්ගලක් තැන්පත් කොට නටබුන් වලට වැඳ නමස්කාර කරගෙන දේව ස්තෝත්‍ර සජ්ජායනය කරන ආකාරය උතුරේ මාධ්‍යවේදීන් විසින් රූගත කර තිබේ.
 
 එම අවස්ථාවේ සන්නද්ධ භට පිරිස් සරසවි භුමියේ සිටිනු දැකගත හැකිය. 
 
යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සන්නද්ධ හමුදා සහායෙන් ජනවාරි  8 සිකුරාදා රාත්‍රි යාමයේ කඩා බිඳ දැමීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු එම ස්මාරකය යලි ඉදි කිරීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති එස්. ශ්‍රී  සත්ගුණරාජා අද දිනයේ මුල්ගල් තැබීමට පියවර ගෙන තිබුනි.
 
 
 

New monument

ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ මුල් ස්මාරකය ඉවත් කිරීම යුක්ති සහගත කරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, “හෙට දවසේ සිංහල දමිළ දරුවන් අතර අසමගිය ඇතිවීමට ඉඩ නොතැබීමක් ලෙස” හඳුන්වා තිබු බවයි.
 
 මහාචාර්ය අමරතුංග පවරන වගකීම භාර නොගත් උප කුලපති පවසා තිබුනේ ස්මාරකය ඉවත් කිරීමට “ඉහල බලධාරීන්” බලපෑම් කළ බවයි.
 
 
 “පරිපාලන වගකීමක් දරන සිවිල් වැසියකු වන මට උපදෙස් ලැබුනේ ඉහල බලධාරීන්ගෙන්. ඒ ඉහල බලධාරීන් තමයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ, අධ්‍යාපන අමාත්‍යාංශය හැමෝම,” යයි උප කුලපති මහාචාර්ය එස් ශ්‍රීසද්ගුණරාජා මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.
 
 
මහාචාර්ය ශ්‍රී  සත්ගුණරාජාගේ පරිපාලන හැකියාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මගින් පෙන්නුම් කර තිබු ආකාරයත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දී තිබේ.
 
 

Josp12            ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්

 
 "මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජා මහතා ලංකාවේ සිටින අතිවිශිෂ්ඨ විද්‍යාඥයෙක්, දක්ෂ පරිපාලකයෙක් හා දක්ෂතම උපකුලපතිවරයෙක් ලෙස එම ස්මාරකය අද දවසට හා හෙට දවසට නොගැළපෙන නිසා එය යාපනය විශ්වවිද්‍යාලයේ ඉවත් කිරීමට තීරණය කළ බවයි."
 
 එවැනි තීරණයක් මත ස්මාරකය ඉවත් කළේ නම් එය ඉදිකිරීම සඳහා එම උපකුලපතිවරයාම නැවත මුල්ගල තබන්නේ කුමන පදනමකින්ද යන්න ගැටලූවක් බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ, සිසුන් අතර සමගිය වෙනුවෙන් එවැනි කටයුත්තක් සිදුකළේ නම් මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරන ආකාරයේ දක්ෂ පරිපාලකයකු කළ යුතුව තිබුණේ විශ්ව විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල ප්‍රජාව සමග සාකච්ඡා  කර එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම මිස මිලිටරි බලය යොදා දෙමළ ජනායගේ සිත්වේදනාවන් තවදුරටත් තීව‍්‍ර වන පරිදි කටයුතු කිරීම නොවන බව නොවැටහීම බරපතල කනගාටුදයාදක තත්වයක් ලෙසිනි.
 
බලධාරීන් විසින් ස්මාරකය විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් ජනවාරි 11 සදුදා උතුරු නැගෙනහිර ආරම්භ කළ හර්තාලය මේ දක්වාම ක්‍රියාත්මක බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.
 
 දකුණේ විශ්ව විද්‍යාලවල ද විවිධ ස්මාරක ඉදිකර ඇති අතර, ස්මාරක ඉදිකිරීම, සාහිත්‍ය නිර්මාණ, මූර්ති, චිත්‍ර, උද්ඝෝෂණ ආදිය මගින් විවිධාකාරයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවයි ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පවසන්නේ.
 
 "යාපනය විශ්ව විද්‍යාලයේ පමණක් එම අයිතිය භාවිතා කිරීමෙන් විශේෂයෙන් ගැටලුවක් ඇති නොවේ".
 
 Darmasena 2021
                     සුචරිත ගම්ලත්- ධර්මසේන පතිරාජ
 
 
යාපනය විශ්ව විද්‍යාලයේ වර්තමානයේ පමණක් නොව යුදමය වාතාවරණයට පෙර ද සිංහල සිසුන්, සිංහල මහාචාර්යවරු කටයුතු කළ බව වර්තමාන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අමතක වීම බරපතල ගැටලූවක් ලෙසින් පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා තව දුරටත් සිය නිවේදනය මගින් සිහි ගන්වා ඇත්තේ  සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ ඇතුළු කලාකරුවන් මෙන්ම විද්වතුන් ද එවකට යාපන විශ්ව විද්‍යාලයේ කටයුතු කළ ආකාරයයි.
 
 මෙවැනි ඉතිහාසක් පැවති යාපන විශ්ව විද්‍යාලයේ, යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් විනාශ කර ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝණය කරමින්, ප්‍රශ්න ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දැක තිබේ.
 
 " මෙම ක්‍රියාව යුද්ධයේ දී තම සමීපතමයින් අහිමිව වේදනාකාරීව ජීවත් වන දෙමළ ජනතාව දැඩි කළකිරීමකට පත්කරවන ක්‍රියාවකි. එසේම මෙවැනි ක්‍රියාව  ජාතීන් අතර සංහිදියාවට බරපතල තර්ජනයකි".
 

 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්