පසුගිය මස දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොටුපොළේ දී 179 දෙනකුට මරු කැඳවමින් සිදුවූ ජෙජු ගුවන් අනතුර පිලිබඳ පරීක්ෂනවල නියුතු විශේෂඥයින්ට යානයේ එන්ජින් යන්ත්‍ර තුළින් කුරුළු පිහාටු සහ රුධිරය හමු වූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
දකුණු කොරියාවේ ජෙජු ගුවන් සේවයට අයත් 7C2216 දරන 737-800 වර්ගයට අයත් එම මගී ගුවන් යානය තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොටුපොල තෙක් පියාසර කරමින් තිබිණි.
ගුවන් යානය ගොඩ බැස්වීමට ආසන්නයේ, යානයේ පක්ෂීන් ගැටීම නිසා, අදාළ ගියර අක්‍රීයව ගියේය.
අනතුරුව ගුවන් නියමුවා විසින් යානය හදිසි ගොඩ බැස්වීමකට යොමු කර තිබිණි.

ගොඩ බැස්වීමේ රෝද ක්‍රියාත්මක නොවූ මොහොතක, යානයේ බඩපත සහිත බඳ කොටස, ගුවන් ධාවන පථය මත ස්පර්ශ වීමට සලස්වා (belly-landing) සිදු කළ එම හදිසි ගොඩ බැස්වීමේ ක්‍රියාවලියේ අවසන් අදියරේදී, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස්, ඊට මීටර 200ක පමණ දුරින්, ගුවන් යානා මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කිරීමට ඉදිකර තිබූ කොන්ක්‍රීට් පැති බැම්මක වැදී, ගිනි ජාලාවක්ව පුපුරා, දැවී විනාශ විය.
අනතුරට පෙර ගුවන් නියමුවන්, යානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට විනාඩි දෙකකට මත්තෙන් ගුවන් පාලක මධ්‍යස්ථානයෙන්, අවට ගුවන් කලාපයේ පක්ෂි ගැවසීම් පිලිබඳ නියමුවන් දැනුම්වත් කර ඇතැයි, මීට පෙර වාර්තා විය.
අනතුරට මිනිත්තු හතරකට පමණ පෙර, ගුවන් යානයේ එක් නියමුවකු විසින්, එහි පක්ෂීන් ගැටීම පිළිබඳව පාලක මැදිරියට දන්වා තිබේ. ඒ හේතුවෙන්, ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක්ද නිවේදනය කර ඇත.
අනතුරුව පළමු ගොඩ බස්වීම අතහැර ගුවන් තොටුපොල වටා වටයක් පියාසර කර, ගුවන් ධාවන පථයේ ප්‍රති-විරුද්ධ දිශාවෙන් යානය ගොඩ බැස්වීමට පියවර ගෙන ඇතැයි, දකුණු කොරියානු බලධාරීහු පවසති.
නියමුවා විසින් ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක් නිවේදනය කිරීමට මිනිත්තු දෙකකට පෙර, පාලක මධ්‍යස්ථානයෙන්, අවට ගුවන් කලාපයේ පක්ෂී ගැවසීම් පිලිබඳ ගුවන් යානය දැනුම්වත් කර තිබේ.
අනතුර සිදු වූ ස්ථානයෙන් හමු වූ ගුවන් යානයේ එක් එන්ජින් යන්ත්‍රයක තිබී, කුරුළු පිහාටු හමු වූ බවත්, යානයේ පක්ෂීන් ගැටීමෙන් එහි අනතුරුදායක තත්ත්වයක් හට ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති.
එහෙත්, ගුවන් යානය සතු එන්ජින් යන්ත්‍ර දෙකෙහිම කුරුළු පිහාටු සහ රුධිරය හමු වී ඇත්දැයි යන පැනයට පිළිතුරු දීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

දකුණු කොරියාවේ මෙතක් වාර්තා වන දරුණුම ගුවන් අනතුර මෙය වේ.
ගුවන් යානයේ දත්ත සහ හඬ පටිගත වන "කළු පෙට්ටි" දෙකම අනතුරට විනාඩි හතරකට පමණ පෙර අක්‍රීයව ගොස් ඇතැයි, පසු ගිය දා අනාවරණය විය. එය ඉතා දුලබ සිදුවීමක් බව ගුවන් අනතුරු විශේෂඥයෝ විමතිය පළ කරති.
ගුවනේ පියාසර කරන ගුවන් යානයක එන්ජින් යන්ත්‍ර දෙකෙහිම පක්ෂීන් ගැටීමද ගුවන් අනතුරු ඉතිහාසයේ විරල සිදුවීම්ය.
එහෙත්, එවැනි දුලබ අනතුරු සිදුවූ ඇතැම් අවස්ථාවන්හි දී පවා, ගුවන් නියමුවන්ගේ දක්ෂතාවෙන් එවැනි අනතුරු වලින් ගුවන් යානය, කාර්ය මණ්ඩලය සහ මගීන් බේරා ගත් අවස්ථා ද ඉතිහාසයේ සඳහන්ය.

2009 වසරේ එක්සත් ජනපදයට ඉහළ අහසේ සිදුවූ එවැනි අනතුරකදී, ගුවන් නියමුවා ගුවන් යානය හඩ්සන් නදියට බස්වා සියලු ජීවිත බේරා ගත්තේය. 2019 වසරේ රුසියාවේදී සිදුවූ තවත් එවන් අනතුරකදී, ගුවන් යානය තිරිගු යායකට සාර්ථකව ගොඩ බැස්වීමට නියමුවා පියවර ගත්තේය.
(REUTERS ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
සබැඳි පුවත් :
ජෙජු ගුවන් අනතුරේ අත්‍යවශ්‍යම තොරතුරු අතුරුදන් - දකුණු කොරියා විමර්ශන පිලිබඳ සැකයක්
දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි
ජෙජු අනතුර සිදු වූ දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොට ලබන 14 තෙක් වැසේ
ජෙජු ගුවන් අනතුර ගැන ද්වේශ සහගත, සාවද්‍ය තොරතුරු පළ කරන්නන් සොයා දඬුවම් කරන්න' - ද. කොරියා වැඩ බලන ජනපති
වසර අවසානය ගුවන් ක්ෂේත්‍රයට අපලයි ! - දකුණු කොරියා අනතුරට හේතුව අනවශ්‍ය ඉදිකිරීමක්






