මැඩගස්කර ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) සිය හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ ( Ruphin Fortunat Zafisambo) ඊයේ (06) එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළේය.
විදුලි සහ ජල අර්බුදයක් හමුවේ හටගත් තරුණ අරගලයක් හමුවේ මීට සතියකට පමණ පෙර, එරට රජය විසිරුවා හැරීමට ජනපති රජෝලීනා පියවර ගත්තේය.
ඒ අනුව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටියන් එන්ට්සායි ද (Christian Ntsay) බලයෙන් පහ කෙරිණි.
හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ
නව තනතුරට නම් කිරීමට පෙර සෆිසැම්බෝ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරක්ෂක කැබිනට්ටුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළේය.
මැඩගස්කරයට, පුරවැසි විශ්වාසය දිනා කටයුතු කිරීමට සහ නීතිය හා සාමය ස්ථාපිත කර පවත්වාගත හැකි අගමැතිවරයකු අවශ්‍ය බව නව අග්‍රාමාත්‍යවරයා නම් කිරීමට පෙර, ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා කියා සිටියේය.
විදුලිය සහ ජල සැපයුම් ප්‍රතිස්ථාපනය කර යථාවත් කිරීම නව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛතම කාර්ය භාරය බව ඔහු අවධාරණය කළේය.
රාජ්‍ය විරෝධී අරගල පිණිස එරට තරුණ කොටස් තෙවන සතියටත් ඊයේ (06) වීදි බටහ. තරුණ උද්ඝෝෂණ හමුවේ රජය විසිරුවා හැරීමට ජනපති රජෝලීනා පියවර ගත්ත ද, 51 හැවිරිදි ජනපතිවරයාට ද ඉල්ලා අස්වන ලෙස බල කරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයෝ තව දුරටත් අරගලයේ නියැලෙමින් සිටිති.
අන්ටනනරීවෝ (Antananarivo) අගනුවරට රැස්වූ උද්ඝෝෂකයින් පලවා හැරීමට පොලීසය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.
අරගලයේ නියුතු බොහෝ පිරිස් එරට විශ්ව විද්‍යාල සිසුන් බව වාර්තා වේ.
කෙන්යාවේ සහ නේපාලයේ ජෙන්-සී (Gen Z) අරගල වලින් ලත් පන්නරය හමුවේ ඔවුහු මැඩගස්කර ගැටලුවට එරෙහි අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.
කෙසේ වෙතත්, දේශපාලනික ඕනෑ එපාකම් මත අරගලයට එක්වනන්, රට අස්ථාවර කිරීමේ කූට ප්‍රයත්නයක නියැලෙමින් සිටින බවත්, ජනපති රජෝලීනා පූර්ණ කාලීනව සාකච්ඡා පිණිස ඇප කැපව සිටින බවත්, ජනපති කාර්යාල ප්‍රකාශකයකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

ඉකුත් සෙනසුරාදා (04) අරගලයේ නියුතු සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක් ජනපතිවරයා හමු වූ බව ද වාර්තා වේ. අරගල කරුවන්ගේ දුක් ගැනවිලි වලට සවන් දීමට සූදානම් වුව, ජනපති ධුරය හැර යන ලෙස කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව ඔහු කියා සිටී.
ඛනිජ සම්පත් බහුල, ජෛව විවිධත්වයෙන් සහ කෘෂිකර්මාන්තයෙන් ද සශ්‍රීක රටක් වුව, මැඩගස්කරය ලොව උග්‍ර දරිද්‍රතාවෙන් පෙලෙන රටවල් අතරින් එකකි. එරට නිදහස ලත් 1960 සිට 2020 දක්වා ඒක පුද්ගල ආදායම 45%කින් පහත වැටී තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/7/2025
මුලාශ්‍රය :
Madagascar president names army general as new prime minister







