ජර්මානු ගුවන් කලාපයට ඉහළින් පියාසර කරන අනවසර ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට රජය, එරට පොලිසියට බලය
පවරයි. ඉකුත් වකවානුවේ ජර්මනිය සහ යුරෝපයේ තවත් රටවල් කිහිපයක ගුවන් කලාප ආක්‍රමණය කළ අනවසර ඩ්‍රෝන යානා හේතුවෙන් ගුවන් තොටුපොළ මෙහෙයුම්ව අඩාල වූ අතර එම රටවල ආරක්ෂාවට ද තර්ජන එල්ල විය. එවැනි ඩ්‍රෝන යානා අන් රටවල ගුවන් කලාප උල්ලංඝනය කෙරෙන පරිදි පියාසර කරවීමෙන් රුසියාව දෙමුහුන් යුද්ධයකට අත පොවා ඇතැයි එම රටවල් චෝදනා කරති.
ජර්මනියට ඉහළින් පියාසර කරන අනවසර ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට හෝ වෙනත් ක්‍රම මගින් නිෂ්ක්‍රීය කිරීමට එරට පොලිසියට බලය පවරා ඉදිරිපත් කර තිබූ ඉල්ලීමකට අද (08) එරට කැබිනට් අනුමැතිය හිමි විය. එය පාර්ලිමේන්තුව හමුවේ අනුමත වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, ජර්මනියේ ආරක්ෂාවට සහ ගුවන් ගමන් වැනි දෛනික මෙහෙයුම් වලට තර්ජනයක් එල්ල කරමින් එරට ගුවන් කලාපය උල්ලංඝනය කරන ඩ්‍රෝන යානා බිම හෙළීමට එරට පොලීසය වෙත පූර්ණ බලය හිමිවේ. එවැනි යානා වෙඩි තබා බිම හෙළීමට හෝ, ලේසර් හා වෙනත් බාධක සංඥා මගින් නිෂ්ක්‍රීය කිරීමට පොලිසියට අවසර හිමි ය.
ඩ්‍රෝන සිදුවීම් සිය දේශයට තර්ජනයක් බව ජර්මානු චාන්සලර්, ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) එක්ස් (X) සමාජ ජාලයේ පණිවුඩයක් තබමින් කියා සිටියේය. ඉදිරියේ දී එවැනි තර්ජන ඇති නොවන පරිදි, එම යානා නිරීක්ෂණය කර වහා නිෂ්ක්‍රීය කිරීමට පොලිසයට බලය පවරන බව ඔහු සඳහන් කරයි.
ඉකුත් සිකුරාදා (03) ජර්මනියේ දෙවන විශාලතම ගුවන් තොටුපොළ වන මියුනිච් ගුවන් තොටුපොළට ඉහළ අහසේ පියාසර කළ අනවසර ඩ්‍රෝන යානා හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට සහ ප්‍රමාද කිරීමට සිදු විය. ඉන්, ගුවන් මගීන් 10,000කට අධික පිරිසක් පීඩාවට පත් වූහ. එම සිදුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නව නීති පැනවීමට ජර්මානු රජය පියවර ගත්තේය.
ඉකුත් සතියේ ජර්මනියට ඉහළ අහසේ අනවසර ඩ්‍රෝන යානා පියාසර කිරීම පිටුපස රැසියාව සිටින බව චාන්සලර් මර්ස් චෝදනා කරයි.
ඒවා, ඔත්තු බැලීම පිණිස යොදා ගත් නිරායුද ඩ්‍රෝන යානා බව ද අනාවරණය වී තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/8/2025
සබැඳි පුවත් :
Germany to allow police to shoot down drones







