ගාසා තීරයේ 67,000කට අධික පිරිසකට මරු කැඳවමින් පුරා දෙවසරක් සිදුකළ ම්ලේච්ඡ යුද්ධය නතර කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟත්වය ප්‍රකාශ කරයි.
ඒ අනුව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද කරුණු 20කින් යුත් සාම සැලැස්ම කොන්දේසි සහිතව ක්‍රියාවට නැංවේ.
එහි මුල් අදියර යටතේ ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සහ දෙපාර්ශ්වය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන රැඳවියන් වහා නිදහස් කිරීමට පියවර ගනු ඇත. දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය ළමුන් සංඛ්‍යාව 22,000 ඉක්මවයි.

ට්‍රම්ප් සාම සැලැස්ම මුළුමනින්ම සාර්ථක වුවහොත්, කලාපීය ගැටුමක් තෙක් ව්‍යාප්ත වෙමින් ඇති ගාසා අර්බුදයට අන් කවරදාක හෝ නොවූ විරූ තිරසර විසඳුමක් ලැබෙනු ඇතැයි, ගෝලීය දේශපාලන විචාරකයෝ පවසති.
එහෙත්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය විසින් ඊයේ (08) එළැඹුණු ගිවිසුම ඉතා කෙටි වූ, තවමත් නොවිසඳුණු සංවේදී ගැටළු කිහිපයකින් සමන්විත වූවකි. එය කුමන මොහතක හෝ යළි බිඳවැටිය හැකි බවට දෙපාර්ශ්වය සතු සැකය බිඳකුදු හීන නොවේ.

ඉතිරි සියළු ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමෙන් අනතුරුව ඊශ්‍රායලය, ගාසා යුද්ධය යළි අරඹන බවට හමාස් සංවිධානය දැඩි සැකයේ පසුවේ. එබැවින්, ජනපති ට්‍රම්ප්ගේ ගිවිසුම සම්බන්ධයෙන් හමාස් පාර්ශ්වයෙන් කොන්දේසි රැසක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, එහි ප්‍රධාන මැදහත් කරු ලෙස එක්සත් ජනපදය, ඒ සම්බන්ධයෙන් වග විය යුතු බව හමාස් අවධාරණය කරයි.
2023 ඔක්තෝබර 07 දා, ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත හමාස් ත්‍රස්තයින් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග ගාසා යුද්ධය ආරම්භ විය. එදින ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ නිරායුධ සිවිල් පුද්ගලයින් 1200ක් ඝාතනය වූ අතර 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත් විය.

මීට පෙර එළැඹි ඉතා කෙටි සටන් විරාම ගිවිසුමේදී ඉන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ අතර හුවමාරු වශයෙන්, ඊශ්‍රායල හමුදා භාරයේ පසු වූ පලස්තීන සිරකරුවන් කිහිප දෙනෙක් ද නිදහස් කෙරිණි. මේ වනවිට, හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා අතුරින් ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බව සඳහන්ය.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, සාම සැලැස්මේ මුල් අදියරට එකඟත්වය පළ කරමින් ඊට අත්සන් තැබීම පිලිබඳ බෙහෙවින් සතුටට පත් වන බව ජනපති ට්‍රම්ප් පැවසීය.
එම මුල් අදියර යටතේ හමාස් භාරයේ පසුවන සියළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙන අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ යම් සීමාවක් තෙක් පසු බසිනු ඇත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/9/2025
මුලාශ්‍රය :
Israel and Hamas agree to Gaza ceasefire and return of hostages







