විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ රජයේ දූෂණ, වංචා සහ සමාජ ජීවන ගැටළු මුල් කරගත් දැවන්ත, දීප ව්‍ය්පාප්ත ජෙන් - සී (Gen Z) තරුණ අරගලයක් තෙක් වර්ධනය විය.
ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) ට ධුරය අතහැර යන ලෙස බල කරමින් ඊයේ (13) ද එරට අගනුවර වන අන්ටනනරීවෝ (Antananarivo) හි දහස් සංඛ්‍යාත තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් අඛණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.
ඇන්ඩ්‍රි රජෝලීනා
තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා පසුගිය ඉරිදා (05) ම රටින් පලා ගිය බව ඊයේ අනාවරණය විය. පලා ගිය ද ඔහු ජනපති ධුරයෙන් තවමත් ඉවත් වී නැත. ඔහු ප්‍රංශ හමුදා හෙලිකොප්ටරයකින් පලා ගිය බවට ඇසින් දුටු සාක්ෂි ඇතැයි ද වාර්තා වේ.
පසු ගිය 16 වසර පුරාම පාලක පක්ෂය සිදු කළේ සිය 'මඩිය තර' කර ගැනීම පමණකැයි තරුණ උද්ඝෝෂකයෝ කියා සිටිති. මැඩගස්කරයේ බහුතර ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙමින් ඇතැයි ද, ඉන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ ජෙන් - සී තරුණ ප්‍රජාව බව ද ඔවුහු පවසති.
එරට සාමාන්‍ය හෝටල් සේවකයකුගේ වත්මන් මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 67ක් පමණ වේ. එය, පුද්ගල මාසික ආහාර වියදමවත් පිරිමසා ගැනීමට නොහැකි තත්ත්වයකි.
මැඩගස්කරයේ ජනගහන බෙදුම් රේඛාව වයස අවුරුදු 20න් පහළ පවතී. ඒ අනුව, එරට සමස්ත ජනගහනය මිලියන 30ක් පමණ වේ. ප්‍රංශ කොලනියක්ව පැවති මැඩගස්කරය 1960 දී නිදහස ලැබීය. එතැන් සිට 2020 දක්වා එරට ඒක පුද්ගල ආදායම 45% තෙක් පහත වැටී ඇතැයි, ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි.
සැප්තැම්බරයේ හටගත් මැඩගස්කර තරුණ අරගලයෙන් අවම වශයෙන් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත් විය.
ඉරිදා (05) රටින් පලා යාමට මත්තෙන් ජනපති රජෝලීනා තවත් එක් රාජකාරියක් නම් සිදු කළේය. එනම්, සිර භාරයේ සිටි පුද්ගලයින් දෙදෙනකු ජනාධිපති සමාව දී නිදහස් කිරීමය. එසේ සමාව ලද්දේ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකි. පෝල් මෙයිලොට් රෆානෝහරානා (Paul Maillot Rafanoharana) සහ ෆ්‍රැන්ස්වා මාර්ක් ෆිලිප් ( Francois Marc Philippe) නම් එම දෙදෙනා රජයට එරෙහි කුමන්ත්‍රණ සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලීමේ චෝදනාව යටතේ 2021 දී අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනෙකි.
පලා ගිය මැඩගස්කර ජනපති සහ වත්මන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් අතර රහස් ගිවිසුමක් ක්‍රියාත්මක වන බවට ද චෝදනා පවතී. ජනපති රජෝලීනාට පලා යාමට ප්‍රංශය සහාය දැක්වූයේද යන්න සම්බන්ධයෙන් හදිසියේ යමක් පැවසිය නොහැකි යැයි, ප්‍රංශ ජනපති ඊයේ ඊජිප්තුවේදී පැවසීය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/14/2025
මුලාශ්‍රය :
Madagascar's president has left the country after Gen Z protests, officials say







