හමාස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු සියල්ල භාරදෙන තෙක් ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවාහය හරි අඩකින් අඩු කරන බවට ඊශ්‍රායලය තර්ජනය කර සිටී.
ඒ අනුව, හමාස් සංවිධානය ඊයේ (14) ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ තවත් මළ සිරුරු රතු කුරුස සංවිධානය මගින් ඊශ්‍රායල හමුදා වෙත ලබා දීමට කටයුතු කළේය.
ඒ, ගාසා සටන් විරාමය උල්ලංඝනය කරමින් එම කටයුතු ප්‍රමාද කිරීම පිළිබඳව ඊශ්‍රායල පාර්ශ්වයෙන් චෝදනා එල්ල වීමත් සමගය. ඊශ්‍රායලය වෙත රැගෙන යාමෙන් අනතුරුව එම මළ සිරුරු හඳුනා, තහවුරු කර ගැනීම පිණිස, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කෙරේ.
මේ අතර, හමාස් සංවිධානය ගාසා තීරයේ බලය යළි තහවුරු කරගනිමින් සිටී. හමාස් ආරක්ෂක භටයින් සිය ගණනින් ගාසා නගර වීදි සරමින් සිටින බව වාර්තා වේ. එසේ වීදි බට හමාස් සන්නද්ධ පුද්ගලයින් ඊශ්‍රායලය වෙත ඔත්තු සැපයූ බවට චෝදනා ලත් පලස්තීනුවන් රැසක් ප්‍රසිද්ධියේ ඝාතනය කළහ.
සන්නද්ධ හමාස් සාමාජිකයින් විසින් දෑත් බැඳ බලහත්කාරයෙන් රැගෙන ආ පලස්තීනුවන් 7දෙනකු ගාසා නගර මධ්‍යයේ දනින් හොවා පිටුපසින් වෙඩි තබා ඝාතනය කෙරෙන නවතම වීඩියෝවක් සඳුදා (13) සිට සංසරණය වෙමින් ඇතැයි රොයිටර්ස් පුවත් සේවය කියයි. කෙටි සිවිල් යුද්ධයකින් පසු 2007 දී ගාසා පාලන බලය හමාස් සංවිධානය අතට පත් විය.
සටන් විරාමය ආරම්භයේ නීතිය ස්ථාපිත කරනු වස්, ගාසා තීරයේ සිවිල් පාලනය සියත පැවතිය යුතු බව හමාස් සංවිධානය ඉල්ලා සිටියේය. තාවකාලිකව එය එසේ වූවාට කම් නැතැයි, ජනපති, ට්‍රම්ප් ද එම ඉල්ලීම අනුමත කළේය.
හමාස් සංවිධානය අවි බිම තැබීමට වහා පියවර නොගත හොත්, යළි ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් තර්ජනය කර සිටී. "ඔවුන් ස්වේච්ඡාවෙන් නිරායුධ නොවන්නේ නම්, අපි ඒක කරවන්නම්, අපි ඉතා ඉක්මනින්, සමහර විට අතිශය දරුණු ලෙස එය අවසන් කරන්නම්" ඊශ්‍රායලයේ ජාතික පාර්ලිමේන්තුව වන කෙන්සෙට් අමතා ධවල මන්දිරයට පැමිණීමෙන් පසු, ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුද තව දුරටත් සිය ස්ථාවරයේම පසුවේ. හමාස් සංවිධානය නිරායුධකරණය වනවා පමණක් නොව, ඔවුන් ගාසා පාලනයෙන් ද සහමුලින් ඉවත් විය යුතු බව, ඔහුගේ ස්ථාවරයයි. හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර සිටී.
ගාසා සටන් විරාම මුල් අදියර ප්‍රකාරව, සිය භාරයේ සිටියදී මිය ගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු සියල්ල ඊශ්‍රායලය වෙත ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව හමාස් සංවිධානය දන්වා සිටී.
කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා එපමණකින් සෑහීමට පත්වේදැයි නිශ්චිත නොවේ. ගාසා තීරය වෙත පිවිසෙන මානුෂීය ආධාර සීමා කිරීමට තීරණය කළ බව ඊශ්‍රායල බලධාරීහු පවසති. ඒ අනුව, අද (15) සිට ගාසා තීරයට ඇතුළු වීමට නියමිත එම ආධාර රැගත් ට්‍රක් රථ සංඛ්‍යාව හරි අඩකින් කපා හැරේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/15/2025
මුලාශ්‍රය :
Hamas hands over hostage bodies after Israel threatens aid cut







