ඇෆ්ඝනිස්ථාන සහ පාකිස්ථාන හමුදා අතර අද (15) හටගත් ගැටුම් වලින් සිවිල් පුරවැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව තලිබාන් පාලනය පවසයි.
පසුගිය සති අන්තයේ ද, දෙරට අතර හටගත් ගැටුම් මධ්‍යයේ සැලකිය යුතු පිරිසක් ඝාතනය වීමෙන් අනතුරුව පැවති කෙටි නිහැඬියාව අද නවතම ගැටුම් හමුවේ බිඳී යන්නේය.
ඇෆ්ඝනිස්ථානයේ සැඟවී පාකිස්ථානය තුළ ගැටුම් ඇතිකරන සන්නද්ධ සටන්කරුවන් හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉස්ලාමාබාද් රජය තලිබාන් පාලනයට බල කිරීමත් සමග, කලක් සමීප සන්ධානයේ පසු වූ, එම දෙරට අතර දැඩි විරසකයක් හටගෙන තිබේ. එවැනි සන්නද්ධ සටන් කරුවන් ඇෆ්ඝනිස්ථානයේ නොවන බවට තලිබාන් පාලනය අවධාරණය කරයි.
අද ගැටුම් අතර පාකිස්ථාන හමුදා භටයන් විශාල පිරිසක් ඝාතනය කළ බව තලිබාන් හමුදාව කියයි. ඔවුන්ගේ මුරපොළ සහ හමුදා මධ්‍යස්ථාන රැසක් විනාශ කළ බවත්, පාකිස්ථාන හමුදාව සතු අවි ආයුධ රැසක් සහ යුද ටැංකි සිය භාරයට ගත් බවත්, ඔවුහු කියා සිටිති.
දේශ සීමා ආසන්නයේ එම ගැටුම්වලින් පුද්ගලයින් සිව් දෙනකු තුවාළ ලබා ඇතැයි පාකිස්ථාන හමුදාව කියයි.
අද උදෑසන ඇරඹි ගැටුම් පැය පහකට අධික කාලයක් අඛණ්ඩව පැවති බව වාර්තා වේ.
භූමියෙන් වට ඇෆ්ඝනිස්ථානය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයුම් සම්බන්ධීකරණය පාකිස්ථානය ඔස්සේ සිදු කෙරේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/15/2025
මුලාශ්‍රය :
New violence on Pakistan-Afghan border kills more than a dozen civilians, troops







