ගාසා තීරයේ සිවිල් පුද්ගල ඝාතන නවතා, වහා අවි බිම තබන ලෙස එක්සත් ජනපද හමුදා ඊයේ (15) හමාස් සංවිධානයට දැනුම් දුන්හ.
ඉකුත් සිකුරාදා (10) සටන් විරාමය ක්‍රියාත්මක කිරීමත් සමග හමාස් සන්නද්ධ ක්‍රියාකාරීහු ගාසා තීරයේ පාලනය බලය යළි සියතට ගනිමින් සිටිති.
ඊශ්‍රායල හමුදාවන්ට සහාය පළ කළේ යැයි සැක පිට, පසුගිය දින කිහිපයේම ඔවුහු සිවිල් ඝාතන රැසක් සිදු කළහ. ගාසා නගරයේ 'කල්ලියක' 30 දෙනකු හමාස් සංවිධානය විසින් ඝාතනය කළ බව පලස්තීන අධිකාරිය සඳුදා (12) දන්වා සිටියේය.
හමාස් සංවිධානය අවි බිම තබන බවට මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශක් සිදු කර නැත.
"භීෂණය සහ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම නවතා, වහා අවි බිම තබන ලෙස හමාස් සංවිධානයට අප තරයේ ප්‍රකාශ කර සිටිනවා" යි, එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණ මූලස්ථානයේ ප්‍රධාන අණ දෙන නිලධාරී බ්‍රැඩ් කූපර් (Brad Cooper) සඳහන් කළේය.
මේ අතර, ගාසා තීරයේ ආරක්ෂාවට ජාත්‍යන්තර හමුදා බලකායක් පිටත් කර හැරීමට සැලසුම් කරන බව, එක්සත් ජනපදය ඊයේ නිවේදනය කළේය. එය, එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ගලා ඒම ආරම්භ වීමත් සමග, රෆා කොරිඩෝව විවෘත කිරීමට ඊශ්‍රායල හමුදා පියවර ගනිමින් සිටිති. ගාසා තීරයේ ප්‍රධාන සේවා සැපයුම් මාර්ගය වැටී ඇත්තේ රෆා කොරිඩෝව හරහාය. හමාස් භාරයේ සිටියදී මිය ගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු වහා භාර දීමට කටයුතු නොකරන්නේ නම්, ආධාර සැපයුම් අවහිර කරන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කිරීමත් සමග, එම කටයුතු කඩිනම් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/16/2025
මුලාශ්‍රය :
US military tells Hamas to stop violence against Gaza civilians, disarm 'without delay'







