පලස්තීනුවන්ට ප්‍රවාහන පහසුව සලසා ගැනීම පිණිස රෆා කොරිඩෝව විවෘත කරන බව ඊශ්‍රායල හමුදා ඊයේ (16) ප්‍රකාශ කළ ද, තවමත් එය සිදු කර නැත.
හමාස් භාරයේ සිටියදී මිය ගිය ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායල හමුදා භාරයට පත් කිරීම ප්‍රමාද වීම ඊට හේතුවයි.
එය, රෆා කොරිඩෝව විවෘත කිරීමට ඔබ්බෙන්, එක්සත් ජනපද මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමේ තිරසර බවට ද ප්‍රබල තර්ජනයකි. හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ගාසා තීරයේ අනාගත පාලනය සම්බන්ධයෙන්ද ගැටළු රාශියක් පැන නගිමින් පවතී.
ඊශ්‍රායලය, සටන්විරාම ගිවිසුම පවත්වාගැනීමට කැපව, ඊට අනුගතව ක්‍රියාකරමින් සිටින මුත්, හමාස් සංවිධානය විසින් මිය ගිය ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 19 දෙනාගේ සිරුරු භාර දීමට තවදුරටත් ප්‍රමාද වීම, නොසතුටට කරුණක් බව එරට රාජ්‍ය, මාධ්‍ය ප්‍රකාශක ෂොෂ් බෙඩ්‍රෝසියන් (Shosh Bedrosian) පවසයි. මේ දක්වා, එම මළ සිරුරු 10ක් රතු කුරුස සංවිධානය හරහා භාර දීමට හමාස් කටයුතු කළද, ඉන් එක් සිරුරක්, එම සංවිධානය භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවකුගේ නොවන බව ඊශ්‍රායලය කියයි.

සටන් විරාම ගිවිසුම පවත්වාගැනීමට තම පාර්ශ්වයෙන් ද උපරිම සහාය දක්වන බව හමාස් සංවිධානය කියා සිටී. එහෙත්, බොහොමයක් ප්‍රාණ ඇපකරු මළ සිරුරු ඊශ්‍රායල හමුදා ප්‍රහාරයන්ගෙන් විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන්වලට සහ ගාසා උමං පද්ධති තුළ සිරවී පැවතීම හමුවේ, ඊට තවත් දින ගණනක් ගතවනු ඇතැයි, ඔවුහු කියා සිටිති. එම සුන්බුන් ඉවත් කර මළ සිරුරු සොයා ගැනීම පිණිස බර යන්ත්‍රෝපකරණ අවශ්‍ය බව හමාස් පවසයි.
සටන් විරාමය ක්‍රියාත්මක පසුගිය සිකුරාදා (10) සිට මේ දක්වා, ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් 24 දෙනකු වෙඩි තබා ඝාතනය කරමින්, සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට හමාස් සංවිධානය චෝදනා කරයි. ඊශ්‍රායල හමුදා විසින් සටන් විරාම කාලය තුළ මෙතෙක් සිදු කරන ලද භීෂණ කාරී ක්‍රියා පිලිබඳ සවිස්තර වාර්තාවක්, මධ්‍යස්ථ පාර්ශ්ව වෙත ලබා දීමට පියවර ගත් බවද, ඔවුහු කියා සිටිති.
ඊශ්‍රායල සටන් විරාම මායිම් ආක්‍රමණය නොකරන ලෙසට කළ අනතුරු ඇඟවීම් නොතකා, ඇතැම් පලස්තීන පිරිස් ඒ වෙත පිවිසීමට තැත් කළ බවත්, එම තර්ජන ව්‍යර්ථ කිරීමට වෙඩි තැබීමට සිදු වූ බවත් ඊශ්‍රායල හමුදා පවසති.
මේ අතර, සටන් විරාමය තුළ දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනකු ඝාතනය වූ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති. උමං පද්ධතියක් තුළින් මතුව, ඊශ්‍රායල හමුදා පෙරමුණු ඉලක්ක කර පැමිණෙමින් සිටි පුද්ගල තර්ජන කිහිපයක් හඳුනා ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පවසති.
ඊයේ දිනය තුළ පමණක් ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 07 දෙනකු වත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෙටුම්පත් කර ක්‍රියාවට නංවන ලද ගාසා සටන් විරාමයේ මීළඟ අදියර, හමාස් සංවිධානය අවි බිම තබා ගාසා පාලනයෙන් ඉවත් වීමය. එය තව දුරටත් දැඩි මතභේදයට තුඩුව පවතින්නකි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/17/2025
මුලාශ්‍රය :
Israel, Hamas trade blame over truce violations amid delay in return of dead hostages







