යේමනයේ හුති සන්නද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, මුහම්මද් අබ්දල් කරීම් අල්-ඝමාරී (Muhammad Abd Al-Karim al-Ghamari) රාජකාරියේදී ඝාතනය වූ බව එම සංවිධානය ඊයේ (16), නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඔහු ඉරාන සහාය ලබන හුති සන්නද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයකු බව ද සඳහන්ය.
ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සෘජු චෝදනා එල්ල නොවුවද, ඊශ්‍රායලය සමග යුද්ධය අවසන් ව නැතැයි, හුති සංවිධානය පවසයි. ඊශ්‍රායලය විසින් සිදු කරන ලද අපරාධයන්ට දැඩි දඬුවම් පමුණුවන බව ඔවුහු කියති.
යේමනයේ, සනා නුවර රැඳී සිටි හුති කල්ලියේ මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක ඇමති සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලයන් රැසක් ඉලක්ක කර, ඉකුත් අගෝස්තු මස ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන්, යේමන අග්‍රාමාත්‍යවරයා ඇතුළු හුති රජයේ තවත් අමාත්‍යවරු රැසක් ඝාතනය වූහ.
යේමන ආරක්ෂක ඇමති, හුති මාණ්ඩලික ප්‍රධානී - අල්-ඝමාරි ( al-Ghamari) සහ රජයේ තවත් ජ්‍යෙෂ්ඨන් රැසක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බව පසුව සඳහන් කළ ඊශ්‍රායලය, එහි දී සිදු වූයේ කුමක්දැයි, විමර්ශනයේ පසුවන බව ප්‍රකාශ කළේය.
හුති ජිහාඩ් කාර්යාලයේ සාමාජිකයකු ද වූ අල්-ඝමාරි, සන්නද්ධ මෙහෙයුම් භාරව කටයුතු කළේය.
ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz), ඊයේ දන්වා සිටියේය. සිය දේශයට එරෙහි කිනම් ආකාරයේ හෝ ඉදිරි තර්ජනයකදී යළි යළිත් එම පියවරම ගන්නා බව හෙතෙම අවධාරණය කළේය.
ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පතා යේමනය නිරන්තරව ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊශ්‍රායල පාර්ශ්වයෙන් ද ඊට ප්‍රති ප්‍රහාර එල්ලේ කෙරේ.
ඊශ්‍රායලය, ගාසා සටන් විරාමයට අනුගතවන ආකාරය පිලිබඳ, සමීප නිරීක්ෂණයේ පසුවන බව හුති නායක, අබ්දුල් මලික් අල්-හූති ( Abdul Malik al-Houthi) පවසයි. ඊශ්‍රායලය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කෙරෙන ඕනෑම මොහොතක, පලස්තීනුවන්ගේ සහායට ඉදිරිපත් වන බවද ඔහු කියා සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(







