පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක තරුණ අරගලයකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව පොලිස් නිලධාරීන් රැසක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර බලයට පත් ජනපති, ජොසේ ජෙරී (Jose Jeri)ට එරෙහිව එම ජන අරගලය දියත්ව තිබේ. එරට, ලීමා (Lima ) අගනුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. අරගලය හමුවේ වර්ධනය වන අනාරක්ෂිත භාවය වහා පාලනයට පියවර ගැනෙමින් ඇතැයි, අග්‍රාමාත්‍ය අර්නෙස්ටෝ ඇල්වරෙස් (Ernesto Alvarez ) අද (17) පැවසීය.
ඉකුත් බදාදා (15) හටගත් පේරු ජන අරගලය එතැන් සිට, අඛණ්ඩව ඊයේ (16) රාත්‍රිය පුරාවට ද ක්‍රියාත්මක විය.
තරුණ ජෙන්-සී ( Gen Z) අරගලකරුවන්, ප්‍රවාහන සේවකයින් සහ සිවිල් සංවිධාන රැසක් ඊට එක්ව සිටිති. රාජ්‍ය දූෂණයට සහ සීග්‍රයෙන් වර්ධනය වන අපරාධ රැල්ලට එරෙහි විරෝධතා හමුවේ, පසු ගිය 09 වනදා, හිටපු ජනපතිනි ඩීනා බොලූර්ටේ (Dina Boluarte) ද බලයෙන් පහ කෙරිණි.
බදාදා දිනයේ, විරෝධතාවන්ට එක්වූ දහස් සංඛ්‍යාත පිරිස් පොලිසිය හා ගැටුණහ. කැරළි මර්ධන පොලිසිය කඳුළු ගෑස් මගින් විරෝධතාකරුවන් පලවා හැරීමට උත්සාහ ගත්ත ද, එම ප්‍රයත්නය ව්‍යර්ථ විය. කෝපයට පත් විරෝධතාකරුවෝ, රතිඤ්ඤා, ගල් සහ දැවෙමින් පැවැති තවත් දෑ පොලිසිය වෙත දමා ගැසූහ.
නව ජනපති, 38 හැවිරිදි ජොසේ ජෙරීට එරෙහිව ද දූෂණ සහ ලිංගික අපචාර චෝදනා රැසක් පවතින බව වාර්තා වේ. ජෙරී, එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටී. ජනපති ධුරයට පෙර එරට කොන්ග්‍රසයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඔහු, ජනප්‍රියත්වයෙන් ගිලිහී කටයුතු කළ අයෙකි. ඔහුට පෙර, 2022 වසරේ, ධුරයට තේරී පත් බොලූර්ටේ ජනපතිවරියට එරෙහි ජන අරගලවලින් ද විශාල පිරිසක් මරණයට පත් වූහ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
මුලාශ්‍රය :
One dead, dozens injured as Peru's new president faces widespread protests







