එක්සත් ජනපදය පුරා ඊයේ (18), දැවැන්ත මහජන උද්ඝෝෂණ ආරම්භ විය.
"රජුන් හරණු" (No Kings) ලෙස නම් කෙරුණු එම මහජන රැළි මාලාව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වාගෙන යන අධිකාරිවාදී, ඒකාධිපති පාලනයට සහ ඔහුගේ අසීමිත දූෂණ ක්‍රියාවලට එරෙහිව සංවිධානය කර තිබිණි.
එක්සත් ජනපදය පුරා, ඒ සම්බන්ධ මහන විරෝධතා රැළි 2600කට අධික සංඛ්‍යාවක් පැවති අතර, ඊට මිලියන ගණනක ජනතාවක් එක්ව සිටියහ.
එක්සත් ජනපදයේ සියලු ප්‍රධාන නගර, කුඩා නාගරික කලාප සහ තදාසන්න ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි උද්ඝෝෂණ සංවිධානය කර තිබිණි.
ඉකුත් ජනවාරි මස ඔහු බලයට පත් වීමත් සමග, රට පුරා ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති සැලසුම් සහ රාජ්‍ය වසා දැමීම වැනි කරුණු රැසක්, එම ජනතා උද්ඝෝෂණ මාලාවේ තේමාව විය.
උද්ඝෝෂණ සියල්ල උත්සවාකාරයක් ගත් බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. විවිධ මොස්තරවල ඇඳුම් ආයිත්තමින් සැරසුණු පිරිස්, පෙළපාලිවල ගමන් ගත් අතර, වායුව පිරවූ විශාල රබර් රූකඩ ද ඊට එක් කර තිබිණි. කුඩා ළමුන්, තරුණ පිරිස්, ළදරුවන් කැටිව පැමිණි දෙමාපියන් සහ විශ්‍රාමිකයින් වැනි විවිධ තරාතිරම්වල අමෙරිකානු පුරවැසි කණ්ඩායම් රැසක් එහි ගමන් ගත්හ. ඇතැමුන් සිය නිවෙස්හි සිටින සුරතල් සතුන් ද කැටිව පැමිණ තිබීම විශේෂත්ත්වයක් විය.
සාමකාමී විරෝධතාවේ යෙදීම සිය අයිතිය බව පෙළපාලිකරුවෝ ප්‍රකාශ කළහ.
නිව් යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය උද්ඝෝෂකයින්ගෙන් පිරී පැවතිණ. ලක්ෂයකට අධික පිරිසක් එහි එක්ව සිටියහ. සාමාකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමට හේතුවක් නැතැයි, පොලිසිය සඳහන් කළේය.
වොෂින්ටන්, ලොස් ඇන්ජලීස්, බොස්ටන්, ෆිලඩෙල්ෆියා, ඇට්ලන්ටා, ඩෙන්වර්, චිකාගෝ සහ සියැටල් වැනි ප්‍රධාන නාගාරික කලාපයන්හි පැවති ට්‍රම්ප් විරෝධී මහජන උද්ඝෝෂණවලට දස දහස් සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියහ. සැන් ඩියාගෝ හි උද්ඝෝෂණ පිණිස පමණක් 25,000කට අධික පිරිසක් එක් වූ බව, පොලිසිය සඳහන් කළේය.
ට්‍රම්ප්-විරුද්ධවාදීන්ට එල්ල කෙරෙන අපරාධ චෝදනා, සිවිල් ආගමන ක්‍රියාවලිය හමුදාකරණයට ලක් කිරීම, අපරාධ මැඩලීමට සහ අනීතික සංක්‍රමණ වැලක්වීමට යයි පවසමින්, එක්සත් ජනපද නාගරිකයන් වෙත ජාතික ආරක්ෂක බලකා සෙබළුන් යොදා සිවිල් සමාජය කැළඹීමට ලක් කිරීම වැනි ට්‍රම්ප් රජයේ නව පියවර රැසක් දැඩි ජනතා විරෝධයට ලක්ව තිබේ.
ට්‍රම්ප් පරිපාලනය විසින්, සිය අදූරදර්ශී ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යත්න දරමින් සිටින බව ට ජනතාව චෝදනා කරති. වත්මන් රජය, රාජ්‍ය පරිපාලනයේ තීරණාත්මක තනතුරුවලට අත්දැකීම් රහිත ට්‍රම්ප් හිතවාදීන් පත් කර, ජනමාධ්‍ය, නීති ආයතන සහ විශ්ව විද්‍යාල වෙත දැඩි බලපෑම් එල්ල කෙරෙන බවට චෝදනා පවතී.
ඊයේ මහජන උද්ඝෝෂණයන්ට එරට විශ්‍රාමික හමුදා නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
කොන්ග්‍රස් කතානායක, මයික් ජොන්සන් (Mike Johnson), එම ජනතා උද්ඝෝෂණය වෛරී සහගත, ඇමෙරිකානු විරෝධී ජන රැළියක් ලෙස හැඳින්වීය.
රිපබ්ලිකන් පාක්ෂිකයෝද මහජන උද්ඝෝෂණය සම්බන්ධයෙන් කුපිත වී සිටිති. පසුගිය දා, ට්‍රම්ප් හිතවාදී චාර්ලි කර්ක් ඝාතනය කළා මෙන්, වත්මන් ජන විරෝධතා, රට තුළ දැඩි නොසන්සුන්කාරී සමාජ-දේශපාලන වාතාවරණයක් ඇති කරනු ඇතැයි, ඔවුහු අවධානය කරති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/19/2025
මුලාශය :
'No Kings' protests draw large crowds in US cities to decry Trump







