ඩුබායි සිට පැමිණි බොයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, හොංග් කොංග් ගුවන් තොටුපොළේ ගොඩ බැස්වීමේදී
ධාවන පථයෙන් ලිස්සා යාමෙන් අද (20), අනතුරක් සිදු විය.
එම අනතුරින්, ගුවන් තොටුපොළ ආරක්ෂක කාර්යමණ්ඩල නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගිය ගුවන් යානය, ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් මුර සංචාරක රථයේ ගැටී, එම රථයද සමග මුහුදට ඇදී ගොස් තිබේ.
අනතුරින්, ගුවන් යානයේ කොටසක් ජලයේ ගිලී ඇතැයි ද වාර්තා වේ.
හොංග් කොංග් වේලාවෙන්, අද අළුයම 3.50 ට එම අනතුර සිදු විය.
කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානය සේ සැලකෙන හොංග් කොංග් හි වසර 25කට පසුව සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය වේ. අනතුරින්, ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් ඇතුළු සිව් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදු වී නැත.
මිය ගිය ආරක්ෂක කාර්ය මණ්ඩලයේ දෙදෙනාගෙන් අයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට වූ බවත්, අනෙක් නිලධාරියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්වවූ බවත්, වාර්තා වේ.
හොංග් කොංග්, ලොව කාර්ය බහුලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළ වේ.
අනතුරට පත් යානය, එමිරේට්ස් සමාගම වෙනුවෙන්, ඒ සී ටී (ACT Airlines) ගුවන් සේවාව යටතේ ක්‍රියාත්මක තුර්කි, භාණ්ඩ ප්‍රවහන ගුවන් යානයක් බව, ඩුබායි හි පිහිටි එමිරේට්ස් සමාගම සඳහන් කරයි.
අනතුරට හේතුව, තවමත් විමර්ශනය කෙරෙමින් පවතී. එම අවස්ථාවේ පැවති කාළගුණය, ධාවන පථයේ සහ ගුවන් යානයේ තත්ත්වය මෙන්ම, ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයද එම විමර්ශනවලට ඇතුළත් ය.
ගුවන් අනතුර හේතුවෙන් හොංග් කොංග් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ඇතුළු අනෙකුත් මෙහෙයුම්වලට බාධාවක් නැතැයි, ගුවන් තොටුපොළ බලධාරීහු පවසති.
හොංග් කොංග් ගුවන් තොටුපොළේ දරුණුතම, මාරාන්තික ගුවන් අනතුර 1999 දී සිදු විය. එහිදී, චීන ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් ගොඩ බැස්වීමේදී සිදු වූ අනතුරින්, යානයේ ගමන් ගත් 315 දෙනකු අතරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/20/2025
මුලාශ්‍රය :
Cargo plane slides off runway in Hong Kong, killing two airport staff







