පාකිස්ථානයේ පෙෂාවොර් හි පිහිටි අතුරු හමුදා මූලස්ථානය තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයට ලක්වේ.
අද (24) එරට දේශ සීමා අතුරු පොලිස් හමුදා මූලස්ථානය ප්‍රහාරයට ලක් වූ බව, පාකිස්ථාන පොලිසිය තහවුරු කළේය. වෙඩි තැබීමට අමතරව මූලස්ථාන සංකීර්ණය වෙත මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් ද එල්ල වී ඇත. තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, රොයිටර්ස් කියයි.
පළමු මරාගෙන මැරෙන බෝම්බකරු විසින් මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම අසල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව අනෙක් මරාගෙන මැරෙන ත්‍රස්තයා ඊට ඇතුළු වූ බව, ජ්‍යෙෂ්ඨ නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවය හමුවේ පැවසීය.
තත්ත්වය පාලනයට පාකිස්ථාන ආරක්ෂක හමුදා සහ පොලිසිය කැඳවා තිබේ. ප්‍රදේශය පීරා දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය. එරට අතුරු හමුදා මූලස්ථානය දැඩි තදබදයක් සහිත ප්‍රදේශයක පිහිටා තිබේ. අසල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය අත්හිටුවා හමුදා සහ පොලිස් ආරක්ෂාව තර කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







