2023 ඔක්තෝබර 7 දා, දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත එල්ල කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි ජ්‍යෙෂ්ට හමුදා නිලධාරීන් රැසක් සේවයෙන් පහ කෙරේ. එරට හමුදා ප්‍රධානී විසින් එම නෙරපා හැරීම් සිදු කර තිබේ.
අමතරව, ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැඩි තරවටු කිරීම්වලට යටත් කර ඇත. තරවටු කිරීම්වලට ලක් වූ ඇතැමෙක් හමුදා සේවයෙන් ඉල්ලා අස්වූ බව ද, වාර්තා වේ.
දඬුවම්වලට යටත් වූවන් අතර, හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි ප්‍රධානීන්, මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීන් සහ ගාසා තීරය සම්බන්ධයෙන් වගකිව යුතු දක්ෂිණ විධානයේ නිලධාරීහු ද වෙත්. එම ඇතැම් ජෙනරාල්වරු සේවයෙන් විශ්‍රාම ගොස්, අවශ්‍යතාව මත සංචිත සේවයට එක්ව සිටියහ.
ඔක්තෝබර 7 ප්‍රහාරයෙන්, ඊශ්‍රායල රාජ්‍යයේ පුරවැසියන් ආරක්ෂා කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සිය පරම වගකීමෙන් අසමත් වී යැයි, එරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාල් සමීර් (Eyal Zamir) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එය, තදබල, බරපතල සහ සංවිධිත අසමත් වීමක් බව, ඔහු වැඩි දුරටත් කියා සිටී. ඉන් උගත් පාඩම් ඔස්සේ, අනාගතයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා අතිශය තීරණාත්මක දිශානතියක් වෙත යොමු කිරීම සිය නායකත්වය යටතේ සිදු කරන බව ද හෙතෙම අවධාරණය කරයි.
එදින සිදුවීම අතරතුර පුරවැසි ආරක්ෂාව පිලිබඳ වගවීමට ඊශ්‍රායල හමුදා අසමත්වීම කෙරෙහි මහජන විරෝධතා වර්ධනය වීමත් සමග එම විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

2023 ඔක්තෝබර 7 දා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නෙතන්යාහු රජය මෙතෙක් ජාතික විමර්ශනයක් ආරම්භ කර නැත. ඒ පිලිබඳ විභාගයට විශේෂ කොමිසමක් පත් කරන්නැයි රජයට බල කරමින් සෙනසුරාදා (22) රාත්‍රී විපක්ෂයේ මූලිකත්වයෙන් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවෝ ටෙල් අවිව් නුවරට රැස් වූහ.
හමාස් සහ වෙනත් පලස්තීන ත්‍රස්තයින් මෙහෙය වූ ඔක්තෝබර 7 ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1200කට අධික පිරිසක් ඝාතනය විය. පුද්ගලයින් 250ක් ත්‍රස්ත ප්‍රාණ ඇපයට පත් වූහ.
එම ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ භූමි සහ ගුවන් සංග්‍රාම දියත් කළහ. දෙවසරක යුද්ධයෙන් මේ වන විට, ගාසා තීරයේ 69,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
එක්සත් ජනපද තැරව්කාරත්වයෙන් එළැඹි ගාසා සටන් විරාමය, ඉකුත් ඔක්තෝබරයේ ආරම්භ විය. එය ගාසා යුද්ධය අවසන් කිරීමේ ප්‍රථම අදියර සේ සැලකේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/24 /2025
මුලාශ්‍රය :
Israeli army chief fires, reprimands commanders for failures in October 7 attack







