ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඊයේ (24) බුර්කාවකින් සැරසී පැමිණි සෙනෙට් මන්ත්‍රිනී, පෝලින් හැන්සන් (Pauline Hanson)
ට සත් දවසක් පාර්ලිමේන්තුව තහනම් කෙරේ. ඒ අනුව, ඇයට එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාර 7ට සහභාගී වීමේ අවසර අහිමි වේ. මුස්ලිම් කාන්තාවන් එරට ප්‍රසිද්ධ ස්ථාන වල, බුර්කාවෙන් සැරසී සිටීම තහනම් කරන ලෙස බල කරමින්, ඇය සිදු කළ එම අමනොඥ ප්‍රවධන ක්‍රියාව එරට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක් විය.
ඊයේ, බුර්කාවකින් සැරසී උත්තර මන්ත්‍රී මණ්ඩලට පැමිණි ඇයට, පොදු ස්ථාන වලදී බුර්කාව හෝ වෙනත් මුහුණු ආවරණ සහිතව සිටීමට එරෙහි පනතක් සභා ගත කිරීම ද වාරණය කෙරිණි. ඇගේ ක්‍රියා කලාපයට සහ ඇය විසින් ඉදිරිපත් කිරීමට යෝජිත පනතට එරෙහිව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීහු දැඩි විරෝධය පෑහ.
එරට මධ්‍ය වාමාංශික කම්කරු රජයේ මුලසුන හොබවන විදේශ අමාත්‍ය, පෙනී වොන්ග් (Penny Wong), සෙනෙට් සභික හැන්සන් ගේ අපුල නිරූපණය ඕස්ට්‍රේලියාවේ සමාජ "හැඳි වත" කීතු කොට ඉරා වැනසීමකැයි පැවසීය. එය ඕස්ට්‍රේලියාව දුර්වල කිරීමක් බවත්, ඉතා සංවේදී කරුණු පිලිබඳ මෘග වාදී ප්‍රවේශයක් බවත් වොන්ග් ප්‍රකාශ කළාය.
එබැවින්, මිලියනකට ආසන්න ඕස්ට්‍රේලියානුවන් ගේ සංස්කෘතික හර පද්ධතිය සහ විශ්වාසය හැන්සන් ගේ ක්‍රියාවෙන් සමච්චලයට සහ අපහාසයට ලක් වූ බවත්, මින් පෙර කිසිදා එවැනි ලජ්ජාශීලී අවමානයක් නොදුටු බවත්, ඇය කියා සිටියාය.
බුර්කාව පිලිබඳ සිය මතය වෙනුවෙන් පෙනී සිටීම සිය අයිතිය බවටත්, පාර්ලිමේන්තුවට සුදුසු වස්ත්‍ර කේතයක් සම්මත කර නොමැති බවත්, හැන්සන් තර්ක කර සිටියාය.
"එක් දැයක්" (One Nation) පක්ෂ නායිකා හැන්සන්ට එරෙහි පාර්ලිමේන්තු වාරණ යෝජනාව, 55-5ක් වශයෙන් සම්මත විය.
මෙය, බුර්කාවකින් සැරසී ඇය පාර්ලිමේන්තු පැමිණි දෙවන අවස්ථාවය. සමස්ත ඔස්ට්‍රේලියාවේ ම බුර්කාව තහනම් කරන ලෙස ඉල්ලා, මීට පෙර, 2017 වසරේ ද ඇය බුර්කාවෙන් සැරසී පාර්ලිමේන්තුවේ පෙනී සිටියාය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/25 /2025
Australian Senate suspends far-right leader over 'disrespectful' burqa stunt







