පෙරේදා (නොවැම්බර් 26), ගිනි ගත් හොං කොං මහල් නිවාස සංකීර්ණය, තවමත් දැවෙමින් පවතී. අවම වශයෙන් පුද්ගලයින් 55 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 300කට අධික පිරිසක් තව දුරටත් අතුරුදන්ව සිටිති.
ඉදිකිරීම් සමාගමක දැඩි නොසැලකිල්ල හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි අනුමාන කරන බව, පොලිසිය ඊයේ (27) සඳහන් කළේය. අනාරක්ෂිත ඉදිකිරීම් ද්‍රව්‍ය යොදා ගැනීම ඊට හේතුවයි. හොං කොං දේශය, ඉදිකිරීම් සඳහා උණ බට ආශ්‍රිත පලංචි භාවිතා කරන ලොව අවසන් රටවල් කිහිපය අතුරින් එකකි. ගින්න හටගෙන පැය 24ක් ඉකුත්ව තිබියද, එය එරට වේලාවෙන් ඊයේ මධ්‍යහ්නය වන විටත් දැවෙමින් පැවති බව බලධාරීහු කියති.
නිවාස සංකීර්ණයේ අවසන් ගොඩනැගිලි හතරෙහි ගින්න පාලනය කර ඇතැයි, ගිනි භටයෝ පැවසූහ. තවත් ගොඩනැගිලි තුනක වූ ගිනි මුළුමනින් නිවා දැමීමට ඔවුහු සමත් වූහ. ගිනි නිවීම් සේවා එහි තව දුරටත් ක්‍රියාන්විතයේ යෙදී සිටිති.
ඊයේ, ගින්නට හසු වූයේ හොං කොං හි උතුරු ටායි පෝ (Tai Po) හි පිහිටි වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණය යි. එය, උස් ගොඩනැගිලි 8කින් සමන්විත අතර නිවාස ඒකක 2000කට ආසන්න සංඛ්‍යාවකින් යුක්තය. නගරයේ පවතින අධික නිවාස මිල හේතුවෙන් 4,600කට වැඩි පිරිසක් එහි තට්ටු නිවෙස්හි නේවාසිකව වෙසෙති.

එහි විසූ නිවසියන්නට දැන් සියල්ල අහිමිව පවතී. 1948 වසරේ සිදු වූ හොං කොං ගිනි අනතුරකින් පසු මෙතෙක්, එහි වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන සිදුවීම මෙය වේ. ගබඩා සංකීර්ණයක හටගත් පෙර ගින්නෙන් පුද්ගලයින් 176 දෙනකු ජීවිතක්ෂයට පත් විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/27 /2025
Hong Kong fire live: At least 55 are dead as blaze burns on after 24 hours







