ඉකුත් සතියේ ඉන්දුනීසියාවේ අසේ ප්‍රාන්තයේ සිදු වූ අතිශය ව්‍යසනකාරී නාය යාම් සහ ගං වතුර, මීට වසර 21කට ඉහත සිදු වූ
සුනාමි විපත සිහි කැඳවන බව එහි වැසියෝ පවසති. 2004 දෙසැම්බර 26 දා, රිච්ටර් මාපක 9.1ක භූ කම්පනයෙන් හටගත් සුනාමි උවදුරින් එරට දෙලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එවර එහි, මීටර 20ක වැඩි උසකින් යුත් සුනාමි රළ හට ගත්තේය.
මෙවර, දරුණු කුණාටු හමුවේ ආ අඛණ්ඩ, ධාරාණිපාත වර්ෂාවෙන් හටගත් ජල ගැලීම් සහ නාය යාම් හමුවේ සුමාත්‍රාවේ 800කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. අසේ ප්‍රාන්තයේ 200කට අධික පරිසකට ජීවිත අහිමි විය. විපත් සිදු වූ ඇතැම් ප්‍රදේශ කරා ආධාර ගලා ඒම මන්දගාමීව ඇතැයි ද වාර්තා වේ. විපත් සිදුවූ ප්‍රදේශවල නිවෙස් සියල්ල මඩින් වැසී පවතී. ඒවා පවිත්‍ර කිරීමේ කටයුතු ඉතා දුෂ්කර බව ප්‍රදේශ වාසීහු පවසති. ව්‍යසනය ජාතික හදිසි තත්ත්වයක් සේ ප්‍රකාශයට පත් කර, සහන කටයුතු පිණිස අතිරේක අරමුදල් මුදාහරින ලෙසත්, විපතට පත්වූවන් බේරා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, ප්‍රාදේශීය බලධාරීහු රජයෙන් ඉල්ලා සිටිති.
රට පුරා සිදුවූ ස්වභාවික ව්‍යසනයේ සහන කටයුතු වෙනුවෙන් එරට රජය ඉන්දුනීසියානු රුපියා බිලියන 500ක් වෙන්කර තිබේ. එය, දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 30කට ආසන්නය. අවශ්‍ය වුවහොත්, තවත් මුදල් වෙන් කළ හැකි බව රජය පවසයි.
වත්මන් තත්ත්වය හමුවේ සහන කටයුතු ක්‍රමවත් බැවින්, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි, ජනපති ප්‍රබෝවෝ සුබියන්තෝ ( Prabowo Subianto) කියා සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Deadly Sumatra flooding triggers memories of Indian Ocean tsunami







