යුද්ධයට මැදි වූ යුක්‍රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්ම හානි වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ඒජන්සිය කියයි. 1986 වසරේ එම බලාගාරය විනාශයට පත්වීමෙන් අනතුරුව, විකිරණ කාන්දුව පාලනයට එම ආරක්ෂක වැස්ම ඉදි කෙරිණි.
2019 වසරේ අවසන් කෙරුණු එම ලෝහ ආරක්ෂක වැස්ම, පසුගිය පෙබරවාරියේ, රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ හානියට පත් වී ඇති බව, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ඉකුත් සතියේ සිදු කළ පරික්ෂාවක දී අනාවරණය විය. ආරක්ෂක වැස්මේ මූලික ආරක්ෂණ ක්‍රියාකාරිත්වය ඇණ හිට ඇති අතර, ඒ අනුව, විකිරණ මුදාහැරීම රඳවා ගැනීමේ ශක්‍යතා ගිලිහී ඇතැයි, එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජෙනරාල්, රෆායෙල් ග්‍රොසී (Rafael Grossi) සඳහන් කරයි. කෙසේ වෙතත්, එහි ධාරිතා රැඳවුම් පද්ධතිය සහ නිරීක්ෂණ පද්ධතිය තව දුරටත් නිරුප්‍රදිතව ඇතැයි ද ඔහු පවසයි.
ඉදිරි විකිරණ කාන්දු වීම් මුද්‍රා තැබීමට සහ තිරසර න්‍යෂ්ටික ආරක්ෂණය උදෙසා එය පූර්ණ ප්‍රතිසංස්කරණය පිණිස කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව, හෙතෙම අවධාරණය කරයි.
අධිබල පුපුරණ ද්‍රව්‍ය රැගත් රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් බලාගාරය හානියට පත් ව ඇතැයි, ඉකුත් පෙබරවාරි 14 දින, විශේෂ වාර්තාවක් මගින්, යුක්‍රේන බලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී තිබේ. එම ප්‍රහාරයේදී එහි සිව් වන ප්‍රතික්‍රීයකය ගින්නෙන් විනාශ වූ බව ද එහි සඳහන් ය.
බලාගාරය වෙත ප්‍රහාර එල්ල කළ බවට නැගෙන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.
බලාගාරයේ විකිරණ මට්ටම් ස්ථායි තත්ත්වයේ පවතින බව සහ විකිරණ කාන්දුවීම් පිලිබඳ වාර්තා නොවන බව ද, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය කියයි.
චර්නෝබිල් බලාගාරය 1986 වසරේ සිදු වූ පිපිරීමකින් විනාශයට පත් විය. ඒ සමග යුරෝපය පුරා එහි විකිරණ කාන්දු වීම ඇරඹිණි. එම අනතුර පාලනය කිරීමට විශාල මිනිස් සම්පතක් සහ තවත් ආරක්ෂක උපකරණ රැසක් යෙදවීමට රුසියානු බලධාරීන්ට සිදු විය. 2000 වසරේ, එහි අවසන් ප්‍රතික්‍රීයකය ද වසා දැමීමට පියවර ගැනිණි.

2022 පෙබරවාරි මස යුද ගැටුම් ඇරඹි මුල් මාස කිහිපය තුළ, බලාගාරය සහ අවට පරිශ්‍රය මසක පමණ කාලයක් රුසියානු ග්‍රහණට නතු විය. ඒ, යුක්‍රේනයේ කිව් අගනුවර ආක්‍රමණයට රුසියානු හමුදා පෙරමුණු බඳිමින් සිටි අතර වාරයේ දී ය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
UN agency says Chornobyl nuclear plant's protective shield damaged







