ගාසා සටන් විරාමය ඇරඹීමෙන් පසු, තවමත් එහි උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දහස් සංඛ්‍යාත ළමුන් පිරිසක් ප්‍රතිකාර පිණිස යොමු කර ඇතැයි, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ඊයේ (09) නිවේදනය කළේය.
ගාසා තීරයේ ළමා මන්දපෝෂණ ප්‍රතිකාර ලබා දීමේ විශාලතම මෙහෙවර යුනිසෙෆ් සංවිධානය විසින් සිදු කෙරේ. ඔක්තෝබර මස පමණක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 9,300ක් වෙත අවශ්‍ය ප්‍රතිකාර සිදු කළ බව එය පවසයි.
එම සංඛ්‍යාව, පසු ගිය අගෝස්තුවේ පැවති 14,000 ක අගයට වඩා සාපේක්ෂ අඩුවීමක් බව එම සංවිධානය කියයි.
කෙසේ වෙතත්, එය පසු ගිය පෙබරවාරි - මාර්තු පැවති අගයට වඩා වැඩි බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. ගාසා තීරය වෙත තවමත් ප්‍රමාණවත් ආධාර ගලා නොඑන බව, එම සංවිධානය කියා සිටී.

එහි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ තැති ගන්නාසුළු වර්ධනයක් ඇතැයි, එහි සිටින යුනිසෙෆ් ප්‍රකාශිකා, ටෙස් ඉංග්‍රම් (Tess Ingram), වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජිනීවා මාධ්‍ය හමුවක් අමතා කියා සියා සිටියාය.
"ප්‍රතිකාර පිණිස ඇතුළත් කෙරෙන ළමුන් සංඛ්‍යාව පෙබරවාරියට සාපේක්ෂව පස් ගුණයකින් වැඩි වී තිබෙනවා. එම සංඛ්‍යාව සීග්‍රයෙන් පහත හෙලීම අපේ අපේක්ෂාවයි," ඇය පවසයි.
ගාසා තීරයේ රෝහල්හි කි.ග්‍රෑ. 1ට අඩු බර දරු උපත් වර්ධනය ව පවතී. අලුත උපන් දරුවන් ආයාසයෙන් හුස්ම ගනිමින් ජීවිතය යදින බව, ඉංග්‍රම් එම මාධ්‍ය හමුවේ පැවසීය.
ඔක්තෝබර 10 සටන් විරාමයට පෙර යුනිසෙෆ් මගින් රැගෙන ආ ආධාර ප්‍රමාණයට වැඩි තොග මේ වන විට එමගින් ගාසා තීරය වෙත ප්‍රවාහනය කෙරේ. එහෙත්, විටින් විට ඊට තවමත් බාධා එල්ල වේ.
ප්‍රමාණවත් තරම් අත්‍යවශ්‍ය ආධාර ප්‍රවාහනය පහසු කිරීම පිණිස, දැනට වසා ඇති ගාසා ප්‍රවේශ මාර්ග සියල්ල වහා විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව ඉංග්‍රම් කියා සිටී. ගාසා තීරයට ප්‍රමාණවත් වෙළඳ සැපයුම් සිදු නොවන බවද ඇය පෙන්වා දෙයි. මස් කිලෝවක මිල ඇමෙරිකානු ඩොලර් 20ක තරම්, තහනම් ඉහළ අගයක පවතින බව ද ඇය කියයි.
ගාසා පවුල් බහුතරයකට එවන් මිලදී ගැනීමේ හැකියාවක් නොමැති වීම මන්දපෝෂණයට ප්‍රධාන හේතුවක් බව, ඇය අවධාරණය කරයි.
ගාසා තීරයේ අඩ මිලියනයකට අධික පිරිසක් උග්‍ර සාගතයෙන් පෙලෙන බව, ඉකුත් අගෝස්තු මස සිදු කළ එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයකදී අනාවරණය විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







