ජපානය අවට ගුවන් කලාපය ආවරණය කරමින් ඊයේ (09) රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වූහ.
න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වෙන රුසියානු Tu-95 බෝම්බ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, ජපන් මුහුදේ සිට නැගෙනහිර චීන මුහුදු කලාපය වෙත හීයේ වේගය පරයා පියාසර කළේය. ගමනාන්ත මුහුදු සීමාවේදී චීන H-6 බෝම්බ ප්‍රහාරක යානා ද ඊට එක්වූහ. එතැන් සිට දෙපාර්ශ්වයේ ප්‍රහාරක යානා පැසිෆික් සාගරයේ දිගු දුර ඒකාබද්ධ පියා සැරියක් සිදු කළහ.
චීනයට අයත් J-16 ප්‍රහාරක ජෙට් යානා හතරක් ද එම අභ්‍යාසයට සහභාගී වූහ. එම යානා ජපානයේ ඔකිනාවා සහ මියාකෝ දිවයින් වටා පියාසැරියේ යෙදුණහ. එම දිවයින් අතර පිහිටි මියාකෝ සන්ධිය ජාත්‍යන්තර කලාපයක් ලෙස සැලකේ.

ඊයේ, ජපන් මුහුදට ඉහළ අහසේ ඒ හා සමාන රුසියානු ගුවන් අභ්‍යාස ද දක්නට විය. ඊට පූර්ව අනතුරු ඇඟවීමේ A-50 යානයක් සහ Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකක් ද එක් වූහ.
ජපාන ආරක්ෂක ජෙට් යානා මගින් එම අභ්‍යාස සමීප නිරීක්ෂණයේ යෙදුණු බව, එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.
තෝකියෝ - බෙයිජිංග් සබඳතා තවදුරටත් සීග්‍රයෙන් බිඳ වැටෙමින් පවතී
චීන -රුසියා ඒකාබද්ධ ගුවන් අභ්‍යාස ප්‍රත්‍යක්ෂ ලෙසම සිය දේශයට එරෙහි ශක්ති සංදර්ශනයක් බව, ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි (Shinjiro Koizumi) එක්ස් (X) පණිවුඩයකින් කියා සිටියේය. එය ජාපනයේ ජාතික ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් බවද ඔහු සඳහන් කළේය. සමස්ත කාලය තුළ, ජපාන ප්‍රහාරක යානා දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ බව, ඔහු පැවසීය.
චීන - රුසියා ඒකාබද්ධ ගුවන් අභ්‍යාස, පුරා පැය අටක කාලයක් අඛණ්ඩව පැවති බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය. රුසියානු යානා හතක් සහ චීන යානා දෙකක් සිය ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වූ බව, දකුණු කොරියාව ද ඊයේ ප්‍රකාශ කළේය.
ප්‍රහාරක යානා රැගෙන යන චීන නාවුක හමුදා යාත්‍රාවකින් ගුවනට නැගි යානයක් පිලිබඳ සෝදිසියට පිටත් කළ, සිය නිරීක්ෂණ යානයක් වෙත, එම චීන ප්‍රහාරක යානය, රාඩර් කිරණ එල්ල කළ බව ඉරිදා (06) ජපානය චෝදනා කළේය. චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
චීනය විසින් සිදු කෙරෙන, තායිවානයට එරෙහි ඕනෑම සන්නද්ධ ක්‍රියාමාර්ගයකට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ජපානය සතු බව, එරට අග්‍රාමාත්‍ය, සානේ තකෙයිචි පසු ගිය මස අනතුරු ඇඟවූවාය. තායිවානයට එරෙහි චීන හමුදා ක්‍රියාන්විත, ජපානයේ ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව, ඇය අවධාරණය කළාය.
ජපානය අවට චීන හමුදා අභ්‍යාස ආරම්භ කෙරුණේ ජපන් අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයෙන් අනතුරුවය.

චීන රජය එරට වැසියන්ට ජපානයේ සංචාරයේ නිරත නොවන ලෙස ද උපදෙස් නිකුත් කළේය. අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු ජලය සයුරට මුදා හැරීමෙන් අනතුරුව තහනම් කර තිබූ ජපාන මුහුදු ආහාර නිෂ්පාදන ආනයනය යළි ඇරඹීමට, චීනය ගෙන තිබු තීරණය ද මේ වන විට, අවලංගු කර තිබේ.
චීනය සහ රුසියාව, දෙරට අතර ඒකාබද්ධ හමුදා සහයෝගිතාව තර කරමින් සිටිති. මෑත කාලීනව, රුසියාව ආසන්නයේ, දෙරට හමුදා, මිසයිල නාශක යුද හරඹ දැක්වූහ. ඔවුහු දකුණු චීන මුහුදේ සජීව නාවුක යුද අභ්‍යාසවලද නිරත වූහ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







