ගාසා තීරයේ බෙදාහැරීමට ලද ළදරු ආහාර සහ පෝෂණ අතිරේක ටොන් ගණනක් හමාස් සංවිධානය විසින් සොරකම් කර ගබඩාවක සැඟවීමට කටයුතු කළ බව අනාවරණය වේ.
ගාසා වැසියන් හාමතේ තබා, එහි දරුණු සාගතයක් පවතින බව, හුවා දැක්වීම පිණිස එම අමානුෂික ක්‍රියාව සිදු කර තිබේ. එමගින්, ඊශ්‍රායලය ලෝකාපවාදයට ලක් කිරීම ඔවුන්ගේ අරමුණ බව, එකසත් ජනපදයේ වෙසෙන හමාස් විරෝධී ක්‍රියාකරුවකු වන අහ්මෙඩ් ෆුවාර්ඩ් අල්ඛටිබ් (Ahmed Fouad Alkhatib) පවසයි.

ළදරුවන් සහ කුඩා දරුවන් වෙත බෙදාහැරීම පිණිස ගාසා තීරය වෙත ප්‍රවාහනය කළ ආහාර තොග එසේ පැහැර ගැනීමට ලක් කර තිබේ. එමගින් ගාසා තීරයේ පවතින සාගතය, අතිශය දරුණු තත්ත්වයක් තෙක් වර්ධනය කර, එහි වගකීම ඊශ්‍රායලය වෙත පැවරීම හමාස් සංවිධානයේ අරමුණ වී ඇත. එම ආහාර තොග සැඟවීම පිලිබඳ වීඩියෝ දර්ශන අල්ඛටිබ් විසින් සමාජ මාධ්‍යයේ මුදා හැරීමට කටයුතු කර තිබේ.
ඉකුත් සය මස තුළ ගාසා ආහාර අර්බුදය උග්‍ර අතට පත් අවස්ථාවේ, හමාස් සංවිධානය, බාහිරින් ලද ළදරු ආහාර සහ පෝෂණ අතිරේක ටොන් ගණනක් ගාසා සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ගබඩාවෙක රහසිගත ලෙස සැඟවූ බව, අල්ඛටිබ් එක්ස් (X) සටහනක් තබමින් කියා සිටියේය. ගාසා තීරයේ සාගතය තීව්‍ර කර, එහි ඊශ්‍රායල බලපෑම අක්‍රීය කොට, මතභේදයට තුඩු දී ඇති ගාසා මානුෂීය පදනමෙන් (GHF) පරිබාහිරව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යලි සක්‍රීය කිරීමට බල කිරීම ඔවුන්ගේ අරමුණ බව, ඔහු සඳහන් කරයි.
ගාසා තීරයේ මීට පෙර ඇරඹි තාවකාලික සටන් විරාමය ඉකුත් මාර්තු මස බිඳී ගියේය. ඒ සමග ඊශ්‍රායලය ගාසා තීරය වෙත මානුෂීය ආධාර ප්‍රවාහනය අත්හිටුවීය. ඉන් පසු එළැඹි මාස කිහිපයේ ගාසා තීරයේ සාගතය, ලොව තැති ගැන්මට ලක් කළේය. එක්සත් ජනපදය ඊට සෘජුව මැදිහත්වෙමින් ගාසා තීරයේ අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමේ කටයුතු පිණිස, ගාසා මානුෂීය පදනම පිහිටුවීය. එහෙත්, එම බෙදා හැරීමේ මධ්‍යස්ථාන අශ්‍රිතව දෛනික වෙඩි තැබීම් වාර්තා වීමත් සමග, එහි මෙහෙයුම් මතභේදාත්මක තත්ත්වයකට පත්විණි. එම මධ්‍යස්ථාන කරා නොයන ලෙස, හමාස් සංවිධානය පලස්තීන ජනතාවට ඉඳුරා කියා සිටියේය.
ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා පලවා හැරීමට, හමාස් සංවිධානය සාගතයෙන් පෙලෙන ජනතාව මානව පලිහක් කර ඇතැයි, අල්ඛටිබ් මුලින්ම චෝදනා කළේ එම අවස්ථාවේදීය. ඔහු සාමය සහ ද්වී-රාජ්‍ය විසඳුමක් උදෙසා උපදේශනයේ නියැලේ. ගාසා තීරයේ විනාශය සහ මිනිස් මරණ සම්බන්ධයෙන් එම සංවිධානය වග කිව යුතු බව, ඔහු අවධාරණය කර සිටී.
ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත හේතුවෙන් සාගතයක් හටගත් බවට චෝදනා ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කරයි. එහෙත්, හමාස් සංවිධානය, ඒ වෙත පැමිණෙන ආධාර, ට්‍රක් රථ පිටින් සොරකමේ යෙදෙන බව, රජය චෝදනා කරයි. හමාස් සේම, ආධාර සොරකමේ යෙදෙන තවත් කණ්ඩායම් ද ගාසා තීරයේ ක්‍රියාත්මක බව එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කරයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
Hamas ‘hoarded baby milk to manufacture hunger crisis’







