ගාසා තීරයට ධාරාණිපාත වර්ෂා ඇද හැලේ.
දෙවසරක යුද්ධයෙන් හෙම්බත් වූ දහස් සංඛ්‍යාත අවතැන් වූවන් තාවකාලිකව රැඳී සිටින කූඩාරම් ඊයේ (11) හටගත් ගං වතුරේ ගසා ගියේය. ඊට හසු වූ ඛාන් යුනිස් හි කුඩා ළදැරියක් ජීවිතක්ෂයට පත් වූ බව, සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
අවතැන් වූවෝ ශ්‍රමදානයේ යෙදෙමින් සිය කඳවුරු ආරක්ෂා කරගැනීමට කටයුතු කළහ. කඳවුරු බිමට පිවිසෙන මාර්ග අවහිර කරමින් රැඳී තිබූ, ගංවතුරේ ගසා ආ අබලි ද්‍රව්‍ය ඉවත් කෙරුණු අතර, කූඩාරම් වෙත තවදුරටත් ජලය ගලා ඒම වැලැක්වීමට ඒ වටා වැලි කොට්ට ඇතිරිණි.
පවතින කුණාටු තත්ත්වය හා සටන් කිරීමට තමන් අපොහොසත් බව, ගාසා නගර සභා සහ සිවිල් ආරක්ෂක නිලධාරීහු කියා සිටියහ. උද්ගතව පවතින ඉන්ධන හිඟය සහ ප්‍රමාණවත් උපකරණ නොමැති වීමෙන් එසේ සිදුව ඇත. ඔවුන් සතු බුල්ඩෝසර යන්ත්‍ර සහ ජලය පොම්ප කරන යන්ත්‍රෝපකරණ විශාල සංඛ්‍යාවක් යුද සමයේ, ඊශ්‍රායලය විසින් විනාශ කළ බව, ඔවුහු පැවසූහ. ගාසා යුද්ධයෙන් අඩ මිලියනයකට අධික පලස්තීන ජනතාවක් අවතැන්ව සිටිති. බහුතර ගාසා තීරය එකම සුන් බුන් 'ගොඩක්' සේ දිස්වේ.
ගාසා තීරයේ සියලු කඳවුරු බිමකම පාහේ අයහපත් කාලගුණයෙන් වට ධාරාණිපාත වර්ෂාවෙන් ජලයෙන් යටව පවතී. උදව් ඉල්ලා ඇමතුම් 2,500කට අධික සංඛ්‍යාවක් ලද බව, සිවිල් ආරක්ෂක නිලධාරීහු පැවසූහ. අවතැන් පවුල් සන්තකයේ වූ දෑ, ගං ජලය මත ගසා යමින් පවතී.
8,50,000කට අධික අවතැන් පිරිසක් තාවකාලිකව රඳවා ඇති කඳවුරු බිම් 761ක් ගං වතුර අවදානමේ පවතින බව, එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වේ. එහි වෙසෙන දහස් සංඛ්‍යාත පිරිසක් ඉවත් කිරීමට සිදු වෙතැයි, එහි සඳහන් ය.
මිලියන 1.5කට අධික අවතැන් පලස්තීන ජනතාව වෙනුවෙන්, නව කූඩාරම් 300,000ක් වත්, වහා අවශ්‍යව ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පලස්තීන බලධාරීහු පවසති. පවතින කූඩාරම් සියල්ල පාහේ විනාශයට පත්ව ඇත. නොඑසේව, අයහපත් කාලගුණයට ඔරොත්තු නොදෙන තුනී ප්ලාස්ටික් හෝ වෙනත් එවැනි ද්‍රව්‍යයෙන් තනා තිබේ.
යුද්ධයෙන් විනාශයට පත් ගොඩනැගිලි අතර පවතින යකඩ කම්බි යොදා නව කූඩාරම් ඉදි කිරීමට අවතැන් වූවෝ යත්න දරති. ඇතැමෙක්, ඒවා ඩොලර් කිහිපයකට විකුණා යම් මුදලක් උපයා ගැනීමට පෙළඹී සිටිති.

ඉකුත් ඔක්තෝබරයේ සිට, ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මකය. සටන් විරාමය අතර ගිවිසගත් පරිදි ප්‍රමාණවත් ආධාර තොග ගාසා තීරයට ඇතුළු වීමට ඊශ්‍රායලය අවසර නොදෙන බව, හමාස් පාලනාධිකාරිය පවසයි. එහෙත්, ගාසා තීරය වෙත ලද මානුෂීය ආධාර ටොන් ගණනින්, හමාස් සංවිධානය විසින් සොරකම් කර ඇතැයි, පස ගිය දා වාර්තා විය. ඒ අතර ළදරු ආහාර සහ පෝෂණ අතිරේක විශාල ප්‍රමාණයක් ඇතැයි, හමාස් විරෝධී ක්‍රියාකරුවකු විශේෂ අනාවරණයක් සිදු කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
12/12 /2025
Torrential rain flooded Gaza tents and a baby died of exposure, medics say
සබැඳි පුවත් :
ගාසා තීරයේ ළදරු ආහාර ටොන් ගණනක් හමාස් සොරකම් කරලා







