ඊශ්‍රායල හමුදා විසින් හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නිලධාරියකු වූ රයෙඩ් සයෙඩ් (Raed Saed) ඝාතනය කර තිබේ.
ඔහු, 2023 ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ මුල් පෙළ ත්‍රස්තයකු බවට අනුමාන කෙරේ. ඉකුත් සෙනසුරාදා (13) මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල හමුදා තැබූ වෙඩි පහරකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.
ඉකුත් ඔක්තෝබරයේ ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට ඊශ්‍රායලය විසින් ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළ පළමු අවස්ථාව මෙය වේ.
එදින ඊශ්‍රායල හමුදා ඉලක්ක කර හමාස් සිදු කළ පිපිරීමකට ප්‍රතිචාර වශයෙන් එම ඝාතනය සිදු කළ බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් විශේෂ ඒකාබද්ධ නිවේදනයකින් කියා සිටියහ. එම පිපිරීමෙන් ඊශ්‍රායල භටයින් දෙදෙනෙක් තුවාල ලැබූහ.
එම මෝටර් රථය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව, 25 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. මිය ගිය පිරිස අතර සයෙඩ් ද වූ බව ඔවුන් විසින් සනාථ කර තිබේ.
මිය ගිය ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියා එම සංවිධානයේ ගිනි අවි නිෂ්පාදන ජාලය ස්ථාපිත කර ව්‍යාප්ත කිරීමට පුරෝගාමී ක්‍රියාන්විතයක නිරත වූවකු බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. සටන් විරාමය ඇතුළත පවා ඔහු එම ක්‍රියාවන්හි නිරත වෙමින්, එය උල්ලංඝනය කිරෙමට කටයුතු කර තිබේ. ඔහු, හමාස් සන්නද්ධ අංශයේ දෙවන ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නිලධාරියා බව එම සංවිධානය ද තහවුරු කළේය. ඔහු හමාස් සංවිධානයේ ගාසා නාගරික ප්‍රහාර බලකා ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
ඊශ්‍රායල හමුදා විසින් ඔහු ඝාතනය කිරීම, සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි හමාස් සංවිධානය පවසයි. ඊට ප්‍රතිචාර දක්වන්නේද, නැද්ද යන්න පිලිබඳ ඔවුන් මෙතෙක් කිසිත් ප්‍රකාශ කර නැත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







