පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ වෙඩි තැබීම සිදු කළ ඝාතකයන් ඊට පෙර, ෆිලිපීනයේ සංචාරයක යෙදී පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
ඊශ්‍රායල ජාතිකයින් පිරිසක් විසින් පවත්වන ලද හනුක්කා සැමරුමක් ඉලක්ක කර පිය - පුතු දෙපළක් විසින් සිදු කළ එම ප්‍රහාරයෙන් එක් ප්‍රහාරකයකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඝාතකයන් දෙදෙනා ඉස්ලාමීය රාජ්‍යයක් පිලිබඳ මූලධර්මවාදී ප්‍රතිපත්තියක සිට එම ඝාතන කළ බවට අනුමාන කරන බව, පොලිසිය සඳහන් කරයි.
ඝාතකයන් පසුගිය මාසයේ ෆිලිපිනයේ සංචාරයක
ප්‍රහාරයට පෙර, පසු ගිය මස ඔවුන් දෙදෙනා ෆිලිපීනයේ සංචාරයක නිරතව ඇත. ඊට හේතු සොයා විමර්ශන ආරම්භ කර තිබේ. ෆිලිපීන පොලිසිය මගින් ද ඒ පිලිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක ය.
මූලධර්මවාදී ඉස්ලාමීය රාජ්‍යයක් පිලිබඳ ජාල ෆිලිපීනය තුළ ද ක්‍රියාත්මක බවට තොරතුරු පවතී. දකුණු ෆිලිපීනයේ මින්දනාවෝ අශ්‍රිතව එහි යම් බලපෑම් ක්‍රියාත්මක ය. එම තත්ත්වයන් අඩපන කිරීමට මෑතකාලීනව රජය පියවර ගනිමින් සිටී. 2017 වසරේ මින්දනාවෝ හි මරාවි නගරයේ මුස්ලිම් අන්තවාදීන් සොයා විශාල වැටලීමක් ද සිදු කෙරිණි.

බොන්ඩි ප්‍රහාරය, මුස්ලිම් රාජ්‍යයක් පිලිබඳ අන්තවාදී සංකල්පයක පිහිටා සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහායක් බව ඒ පිලිබඳ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි, ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිස් කොමසාරිස් ක්‍රිසී බැරෙට් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. එය, හුදු ආගමික අන්තවාදයෙන් ඔබ්බට ගිය, ත්‍රස්ත සංවිධානයක මෙහෙයවීම මත සිදු කරන ලද්දක් බව, ඔහු සඳහන් කළේය.
පිය - පුතු දෙපළ විසින් සිදු කරන ලද එම ප්‍රහාරයේදී, පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් පියා ජීවිතක්ෂයට පත් විය. තුවාළ ලද පුත්‍රයා වැඩි දුර ප්‍රතිකාර පිණිස රෝහල් ගත කර තිබේ. පුත්‍ර ප්‍රහාරකයාගේ නමට ලියා පදිංචි කර තිබූ ඔවුන් පැමිණි මෝටර රථයේ පුපුරන ද්‍රව්‍ය සවි කර තිබූ බවට ද තොරතුරු අනාවරණය විය. එහි ගෘහස්තව සකසන ලද අයිසිස් කොඩි දෙකක් වූ බව ද පොලිසිය කියයි.
සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ, ඉමහත් දෙස් විදෙස් ආකර්ෂණයක් හිමි සංචාරක කලාපයකි. ඉරිදා එහි පැමිණ සිටි සිය ගණනක සංචාරකයින් ඉලක්ක කර පිය - පුතු ප්‍රහාරකයෝ 'දිගට හරහට' වෙඩි තැබූහ. එම වෙඩි ප්‍රහාරය මිනිත්තු 10කට ආසන්න කාලයක් ක්‍රියාත්මක විය. බියට පත් සියල්ලෝ හිස් ලූ ලූ අත දිව ගියහ.
පුත්‍ර ප්‍රහාරකයා සිඩ්නි නුවර ආසන්න දුම්රිය ස්ථාන සමීපයේ ඉස්ලාම් යාඥාවේ යෙදෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද නිකුත් වී තිබේ. ඕස්ට්‍රේලියාවේ උපත ලද ඔහු, හිංසන ක්‍රියාවන්ට සහ භීෂණයට පෙළඹීමට තුඩු දුන් කරුණු සොයා ද පරීක්ෂණ ක්‍රියාත්මකය.

ප්‍රහාරයට ගොදුරු වූ 25 දෙනෙක් තවමත් සිඩ්නි නුවර රෝහල් කිහිපයක ප්‍රතිකාර ගනිමින් සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
Bondi gunmen were inspired by Islamic State, had travelled to the Philippines, Australia police say







