දශක තුනක අවෑමෙන් ඕස්ට්‍රේලියාවේ සිදු වූ අති බිහිසුණු මිනිස් සංහාරයෙන් අනතුරුව, එරට ගිනි අවි සහ අරගල සම්බන්ධ නෛතික ප්‍රතිපාදන පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කෙරේ.
ඒ උදෙසා නව හදිසි අණ පනත් සම්මත කිරීමට නියමිතය. ඊට අදාළ කෙටුම්පත් එන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රධානී අද (17) කියා සිටියේය.
පිය-පුතු ප්‍රහාරකයින් දෙපළක් විසින් ඉරිදා (13) සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ හනුක්කා යුදෙව් සැමරුමක් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කෙරිණි. පොලිස් වෙඩි පහරින් පිය ප්‍රහාරකයා ද ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරයත් සමග ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී සහ අන්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙතැයි, ජනතාව තැති ගෙන සිටිති.
ප්‍රහාරයෙන් මිය ගිය යුදෙව්වන්ගේ අවසන් කටයුතු අද ආරම්භ විය. මූලික විමර්ශනයන්හිදීම අන්තවාදීන් ලෙස හඳුනාගත් ප්‍රහාරකයින් අතට එවැනි ප්‍රබල ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ද ජනතාව කෝපයට පත්ව සිටිති.
හදිසි ප්‍රතිසංස්කරණ සම්මත කිරීම පිණිස පාර්ලිමේන්තුව මෙම මස 22 දා යළි රැස්වේ.
එක් පුද්ගලයකු සන්තකයේ තබා ගත හැකි උපරිම බලපත්‍රලාභී ගිනි අවි සංඛ්‍යාව සහ ඇතැම් ප්‍රබල ගිනි අවි නිකුත් කිරීම සීමා කිරීම පිලිබඳ එහිදී තීරණය කෙරේ. එමෙන්ම, භීෂණ ක්‍රියාවන්ගෙන් පසු හටගත හැකි වීදි උද්ඝෝෂණ වැළක්වීමේ නව නීති ද සම්මත කෙරේ. සමාජය තුළ අනිසි උද්වේගයන් පාලනය එහි අරමුණයි.

බොන්ඩි වෙඩි තැබීම සිදු කළ 24 හැවිරිදි පුත්‍ර ප්‍රහාරකයා පොලිස් වෙඩි පහරින් බරපතල තුවාළ ලබා රෝහල් ගත කෙරිණි. කෝමා තත්ත්වයේ පසු වූ ඔහුට ඊයේ මධ්‍යහ්නය වන විට සිහි එළඹි බව රෝහල් බලධාරීහු පැවසූහ. ඔහු දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ ප්‍රතිකාරයේ පසුවේ.
පැය කිහිපයකින් ඔහුට එරෙහි චෝදනා ගොනු කරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පැවසීය. එහෙත්, ඔහුගෙන් ප්‍රශ්න කිරීම වෛද්‍ය ප්‍රතිකාර පිලිබඳ නිර්දේශ යටතේ සිදු කෙරෙනු ඇත. ප්‍රහාරය, ත්‍රස්තවාදී ක්‍රියාවක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එම ත්‍රස්ත වෙඩි පහරින් මැටිල්ඩා නම්, වයස අවුරුදු 10ක දැරියක් ද ජීවිතක්ෂයට පත් වූවාය. ඇය සිය දෙමාපියන් සමග යුක්‍රේනයේ සිට එහි පැමිණ තිබිණි. ඇගේ දෙමාපියන්ට, වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට හැකි විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Alleged Bondi gunman charged with 15 murders as funerals of victims begin







