එක්සත් ජනපද සම්බාධක පැනවූ සියලු ඉන්ධන ප්‍රවාහන නෞකා, වෙනිසියුලාවට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (16) විශේෂ නියෝග නිකුත් කළේය.
සම්බාධක හේතුවෙන්, වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ ගේ රජය මහත් පීඩාවට පත්ව තිබේ. ඉන්ධන අපනයනය එරට ප්‍රධාන ආදායම් මාර්ගය වේ.
සම්බාධක පනවන ලද ඉන්ධන නෞකා සම්බන්ධයෙන් එක්සත් ජනපද ඉදිරි ක්‍රියාමාර්ගය මෙතෙක් අනාවරණය කර නැත. ඇතැම් විට, වෙරළාරක්ෂක බලකාය මගින් ඉකුත් සතියේ මෙන්, ඒවා අත්හිටුවීමට පියවර ගැනෙනු ඇත. දහස් සංඛ්‍යාත එක්සත් ජනපද හමුදා, යුද නෞකා සහ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද කලාපය වෙත පිටත් කර යවා තිබේ.
"අපට අයත් දේපල පැහැර ගැනීම, ත්‍රස්තවාදය, නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම සහ තවත් එවැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන්, වෙනිසියුලා රාජ්‍යය, විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනවා", යි, ජනපති ට්‍රම්ප්, ටෘත් () සමාජ ජාලයේ සටහන් තැබීය.
"එබැවින් සම්බාධක පැනවූ සියලු තෙල් නැව්, වෙනිසියුලාවට ප්‍රවේශ වීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට අද දින මම නියෝග කරමි," යි ඔහු එහි වැඩි දුරටත් සඳහන් කළේය.
ජනපති ට්‍රම්ප්ගේ "විකෘති චෝදනා" ප්‍රතික්ෂේප කරන බව, වෙනිසියුලා රජය පැවසීය.
අද (17) ආසියානු වෙළඳපොළ තෙල් මිල 1%කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.
ජනපති ට්‍රම්ප්ගේ නිවේදනයෙන් අනතුරුව, ආසියානු වෙළඳපොළ එක්සත් ජනපද බොර තෙල් මිල 1% කින් එනම්, ඇමෙරිකානු ඩොලර් 55.96 තෙක් ඉහළ ගියේය. වෙනිසියුලා තෙල් අපනයනයන්ට බාධා කිරීමත් සමග තෙල් මිල ශීග්‍රයෙන් ඉහළ යමින් පවතී. ජනපති ට්‍රම්ප්ගේ නියෝග, සම්බාධක නොලත් නෞකා කෙරෙහිද ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ ලෝක ඉන්ධන වෙළඳපොළ විමසිල්ලෙන් පසුවේ.
එක්සත් ජනපද නියෝග කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර යුද කැඳවුමක් බව ටෙක්සාස් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත, ජෝකින් කස්ත්‍රෝ අවධාරණය කළේය. එය කොන්ග්‍රසය විසින් කිසි සේත් අනුමත නොකළ, එක්සත් ජනපද ජනතා අභිලාෂයෙන් තොර නියෝගයක් බව ද ඔහු සඳහන් කළේය.
එම සම්බාධක සහ නෞකා අත්අඩංගුවට ගැනීමත් සමග වෙනිසියුලා බොර තෙල් අපනයනය තීව්‍ර ලෙස පහළ ගියේය. මෙම සතියේ එරට පරිපාලන පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වීමෙන් තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
Trump orders 'blockade' of sanctioned oil tankers leaving, entering Venezuela







