සුඩානයේ ඩාෆුර් කලාපයේ අවතැන් කඳවුරක් අත්පත් කර ගැනීම පිණිස පසු ගිය අප්‍රේල් මස, අතුරු හමුදා දියත් කළ මෙහෙයුමකදී, සිවිල් වැසියන් 1000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, වාර්තා වේ.
එම පුද්ගල මරණ අතුරින්, තුනෙන් එකක්ම, සාවද්‍ය මිනිස් ඝාතන බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් අද (18) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිරායුධ මිනිස් ඝාතන යුද අපරාධයක් බව, මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් - වොල්කර් ටර්ක් විසින්, පිටු 18කින් යුත් එම වාර්තාවේ සඳහන් කර තිබේ.
ඛේදවාචකයට බඳුන් වූයේ, එරට බටහිර ඩාෆුර් හි සැම්සැම් (Zamzam) අවතැන් කඳවුරය. සුඩානයේ සිවිල් යුද්ධයෙන් අවතැන් පත් අඩ මිලියනකට අධික ජනතාවක් එහි තාවකාලික රැකවරණයේ පසු වූහ. ඉකුත් අප්‍රේල් 11 - 13 අතර කඳවුර, එරට ක්ෂණික සහායක බලකාය විසින් අත්පත් කර ගැනීමේදී ගැටුම් ඇති විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







