ලබන වසරේ ඉතාලියේ ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල (Winter Olympics) පැවැත්වෙන ස්ථානය අසල ප්‍රපාතාකාර ඇල්පයින් පර්වත මුහුණතේ සලකුණු වී ඇති ඩයිනෝසර් පා සටහන් දහස් ගණනක් සොයා ගෙන තිබෙනවා.
මුහුදු මට්ටමෙන් මීටර් 2,000කට වඩා ඉහළින් පිහිටි ස්ටෙල්වියෝ ජාතික උද්‍යානයේ (Stelvio National Park) සිරස් අතට ආසන්න පර්වත මුහුණතේ තිබුණු මේ පා සටහන් සොයා ගෙන තිබෙන්නේ ඉතාලි ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින්. මේ සොයා ගැනීම වසර මිලියන 210ක් තරම් පැරණි යුගයේ, ලොව අනගිතම ස්ථානවලින් එකක් බව ඔවුන් පවසනවා.
මේ සමහර පා සටහන් සෙන්ටිමීටර් 40ක් පමණ පළල් වන අතර ඒවා 2026 ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එක් භූමියක් වන බිම් මට්ටමෙන් උස් ප්‍රමාණයක පිහිටි Valle di Fraele ප්‍රදේශයේ කිලෝමීටර් පහක් පමණ ඈතට විහිදී තිබෙනවා.
මීට වසර මිලියන 210කට වැඩි කාලයකට පෙර මේ ප්‍රදේශය ඩයිනෝසර් සත්වයන් වෙරළ දිගේ නිදැල්ලේ සැරිසරමින් උන්ගේ අඩිපාරවල් ජලය අසල මඩේ ඉතිරි කර යාමට හැකි උණුසුම් කලපුවක්ව තිබුනු යුගයකදී, ප්‍රොසෝරොපොඩ්ස් වර්ගයේ ඩයිනෝසර් රංචුවක් මේ පා සටහන් ඉතිරි කර තිබෙන බවට විශේෂඥයින් විශ්වාස කරනවා.
කඳු බෑවුමක තිරස් පිහිටීමක සිට සිරස් පිහිටීමකට වෙනස්ව තිබුනු ගල් වූ ඩයිනෝසර් පා සටහන් සැප්තැම්බරයේදී වනජීවී ඡායාරූප ශිල්පියෙකුගේ ඇස ගැසී තිබෙන්නේ ඔහු මුවන් හා ගිජු ලිහිණියන් හඹා යමින් සිටියදී බව පැවසෙනවා.
හුදෙකලාවූ පෙදෙස්වල අනපේක්ෂිත හා මාහැඟි ත්‍යාගයක් ස්වභාවික විද්‍යාව විසින් 2026 ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ලබා දී ඇතැයි ඉතාලියේ මිලාන් නගරය සහ කෝටිනා විවේක නිකේතනය සමව සත්කාරකත්වය දක්වන 2026 හිම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපති ජියෝවන්නි මලාගෝ පවසනවා.
මේ ප්‍රදේශයට පයින් යා නොහැකි බැවින් එය අධ්‍යයනය කිරීම සඳහා ඩ්‍රෝන හා දුරස්ථ පාලකයෙන් ක්‍රියා කරන සංවේදිතා තාක්ෂණය භාවිතා කිරීමට සිදුවනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







