චීනය සිය වෙරළ තීරයට ඔබ්බෙන්, හමුදා අභ්‍යාසයේ යෙදෙමින්, තායිවානය දෙසට අද (30), රොකට් ප්‍රහාර එල්ල කළේය.
තායිවානය වට කර, මහජන විමුක්ති හමුදාවට අයත් නව උභය ප්‍රහාරක යාත්‍රා, බෝම්බ ප්‍රහාරක ජෙට් යානා සහ යුද නෞකාද එම අභ්‍යාසයට එක් වූහ.
එරට වේලාවෙන් අද ප.ව.6.00 තෙක් ජීව උණ්ඩ භාවිතා කරමින් දියේ සහ ගුවනේ එම අභ්‍යාස පැවැත්වේ. චීන වෙරළට ඔබ්බෙන් තායිවානය වටා හඳුනාගත් ස්ථාන පහක් ඒ සඳහා යොදා ගෙන තිබේ. චීන නාවුක සහ ගුවන් බලඇණි විසින් සයුරේ සහ ගුවනේ ස්ථාපිත රූකඩ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කෙරේ. ප්‍රජාතාන්ත්‍රික පාලනයක් සහිත තායිවාන දූපතේ උතුර - දකුණ ආවරණය වන සේ ප්‍රහාරක සබ්මැරීන නාශක අභ්‍යාස ද ක්‍රියාත්මකය.
"යුක්තියේ මෙහෙයුම 2025" යනුවෙන් නම් කර ඇති මෙම චීන හමුදා අභ්‍යාසය පැවැත්වෙන්නේ, එක්සත් ජනපදය විසින් තායිවානය වෙත ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි පැකේජයක් නිවේදනය කර දින 11ක අවෑමෙනි. එය එතෙක්, මෙතෙක් සමස්ත තායිවානය වට කළ, චීනයේ දවැන්තතම හමුදා අභ්‍යාසය ද වේ.
2022 වසරේ සිට සිදු කෙරුණු චීන යුද අභ්‍යාසයන්හි 6වන වටය දෙස තායිපේ සුපරික්ෂාකාරී නිරීක්ෂණයේ පසුවේ.
භූමිය මත සිට ප්‍රහාර එල්ල කරන, එක්සත් ජනපදයේ නිෂ්පාදිත, හිමාර්ස් (HIMARS) වැනි රොකට් පද්ධති ඉලක්ක කළ අවි හරඹ ද, මෙම නවතම චීන යුද අභ්‍යාසයන්ට ඇතුළත් ය. භූමියේ ස්ථාපිත ජංගම ප්‍රහාරක අවියක් වන හිමාර්ස් රොකට් පද්ධතිය කි.මී.300ක දිගු දුර ප්‍රහාරක ශක්‍යතාවෙන් සමන්විතය. ඊට තායිවානයේ සිට දකුණු චීන වෙරළේ ඉලක්ක වෙත පහසුවෙන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී.

ලොව ප්‍රධාන බලවතකු වන චීනයේ මෙම හැසිරීම කිසිසේත් අනුමත නොකරන බව, තායිවාන ජනපති, ලායි චිඞ්-තේ පැවසීය.
තායිවානය වටා චීන වෙරළාරක්ෂක යාත්‍රා 14ක් අඛණ්ඩ මෙහෙයුමේ යොදවා තිබේ. අද උදෑසන 6.00 තෙක් ගත වූ පැය 24 තුළ, චීන ප්‍රහාරක යානා 130ක්, නාවුක සහ වෙරළාරක්ෂක යාත්‍රා 22ක් තායිවානය වටා මෙහෙයුමේ නිරත බව, එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
චීන යුද අභ්‍යාස හේතුවෙන් තායිපේ ගුවන් කලාපයට අයත් ගුවන් මාර්ග 14න් 11ක්ම අවහිරව පවතී. ඒ හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් වෙත සිදුවන බලපෑම අවම කිරීමට පියවර ගෙන ඇතැයි, එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







