සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානයක් විසින් යේමනයේ මුකල්ලා වරායට ගුවන් ප්‍රහාරයක්
එල්ල කෙරේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහාය ලබන බෙදුම්වාදීන් ලද විදෙස් හමුදා ආධාර තොගයක් ඉලක්ක කර එම ප්‍රහාරය දියත් කළ බව සෞදි අරාබිය කියයි.
සෞදි හිතවාදී යේමන ජනාධිපති කෞන්සිලය විසින් එරට රැඳී සිටින එක්සත් අරාබි එමීර් හමුදාවන්ට පැය 24ක් ඇතුළත වහා එරටින් පිටවන ලෙස නියෝග නිකුත් කර තිබේ.
යේමන ජනපති කවුන්සිලයේ ප්‍රධානී රෂාඩ් අලලිමී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමක් වහා අවලංගු කිරීමට ද පියවර ගත්තේය. යේමනයේ අභ්‍යන්තර ආරවුල් ඇති කිරීමට ප්‍රයත්නයේ යෙදීම සම්බන්ධයෙන් ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රබල දෝෂාරෝපණ ද සිදු කළේය.
2014 සිට යේමනය සිවිල් අරගලයකට ද ලක්ව පවතී
ඉරාන සහාය ලබන හුති කැරළි කරුවන්ට එරෙහි සෞදි අරාබි රජයේ නායකත්වයෙන් යුත් සන්ධානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සහාය දක්වයි. යේමනයේ රැඳී සිටින සිය හමුදා ක්‍රමයෙන් අඩු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2019 වසරේ සිට පියවර ගත්තේය. එහෙත්, සෞදියේ සහාය හිමි සහ ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයට පක්ෂව එම හමුදා තව දුරටත් එහි රඳවා සිටිති.
ඉකුත් සති අන්ත සෙනසුරාදා (27) සහ ඉරිදා (28) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ෆුජෙයිරා වරායේ සිට නෞකා දෙකක් යේමනයේ මුකල්ලා වාරය වෙත ලඟා විය. එම යාත්‍රා සිය අවසරයකින් තොරව, ඒ වෙත යාත්‍රා කළ බවට සෞදි සන්ධානය කියා සිටී. මුකල්ලා වරාය වෙත පැමිණීමෙන් අනතුරුව, එම නෞකා සිය ස්ථානීය පිහිටීම් නිරීක්ෂණ පද්ධති අක්‍රීය කළේය. අනතුරුව, එම නෞකා මගින් දක්ෂිණ සංක්‍රාන්ති සභාව (STC) වෙත රැගෙන ආ සුවිසල් අවි තොගයක් සහ ප්‍රහාරක රථ රැසක් ගොඩ බෑම සිදු කෙරිණි. සෞදි ප්‍රහාර වල ප්‍රධාන ඉලක්කය වූයේ එම නෞකා ද්විත්වය යි.
දක්ෂිණ සංක්‍රාන්ති සභාව යනු සෞදි සහාය හිමි යේමන රජයට බැහැරින් ක්‍රියාත්මක කණ්ඩායමකි. එය දකුණේ ක්‍රියාත්මක ප්‍රධාන බෙදුම්වාදී කණ්ඩායමක් ලෙස හඳුනා තිබේ. පාලන බලය සම්බන්ධයෙන් වසර ගණනක් තිස්සේ "එක තැන පල් වන" දේශ සීමා ගැටළු මුල් කර, නැගෙනහිර දේශ සීමා ප්‍රාන්තයක් වන හද්‍රාමෞට් වෙතින් ඔවුන්ට වහා ඉවත්වන ලෙස සෞදි අරාබි රජය විසින් නියෝග කර ඇත.
සෞදි සහාය ලද පාර්ශ්වයට දකුණට පලා යන ලෙස බල කිරීමෙන් අනතුරුව, යේමනයේ සානා අගනුවර ඇතුළු උතුරු කලාපයන්හි පාලනය හුති සංවිධානය නතුව පවතී.
නීත්‍යනුකූල රජයේ පූර්ව අවසරයකින් සහ සම්බන්ධීකරණයෙන් තොරව යේමනයේ කිසිදු පාර්ශ්වයකට විදෙස් හමුදා ආධාර ලබා ගැනීමට අවකාශ නැතැයි සෞදි රජය ප්‍රමුඛ සන්ධානය අවධාරණය කරයි.
මුකල්ලා වරාය ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදු වී නැතැයි ද වාර්තා වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Saudi Arabia issues national security warning as UAE forces asked to leave Yemen







