පාකිස්ථානයේ බලොකිස්තාන් (Balochistan) ප්‍රාන්තයේ, එරට හමුදා විසින් සිදු කළ ආරක්ෂක මෙහෙයුමක දී
සන්නද්ධ කැරලිකරුවන් 216ක් ඝාතනය කෙරේ. එරට හමුදාව අද (5) එය නිල වශයෙන් තහවුරු කළේය.
බලොකිස්තාන් ප්‍රාන්තයේ සන්නද්ධ බෙදුම්වාදීන් හා රජයේ හමුදා අතර ඉකුත් තෙදින තුළ ගැටුම් ඇවිලිණි. එහිදී ආරක්ෂක හමුදා සහ සාමාන්‍ය පුද්ගලයින් 58ක් ඝාතනය වූහ. තත්ත්වය වහා පාලනය පිණිස පාකිස්ථාන හමුදාව ඩ්‍රෝන යානා සහ හමුදා හෙලිකොප්ටර පිටත් කර හැරියේය.
එරට පිහිටි විශාලතම ප්‍රාන්තය බලොකිස්තානය වේ. සෙනසුරාදා (31) එහි බලොක් විමුක්ති හමුදාව හඳුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර ආරම්භ කිරීමත් සමග එම ප්‍රාන්තය මුළුමනින්ම අක්‍රීය විය. ප්‍රදේශය පුරා ස්ථාන රැසකින් පිපිරීම් වාර්තා වූ අතර රජයේ හමුදා සහ බෙදුම්වාදීන් අතර වෙඩි හුවමාරු සිදු විය. බෙදුම්වාදී කැරලිකරුවන් 197 දෙනකු ඝාතනය කළ බව රජයේ හමුදා මුලදී ප්‍රකාශ කළහ.
බලොක් විමුක්ති හමුදාව යනු කලාපයේ ප්‍රබලතම බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම ය. ග්‍රෙනේඩ් අර්ගයේ අත්බෝම්බ සහ රයිෆල් ගිනි අවියෙන් සන්නද්ධ ව ඔවුහු ප්‍රාන්තය පුරා භීෂණය ක්‍රියාත්මක කළහ. සෙනසුරාදා සිට එහි සියලු දුම්රිය සේවා ද අක්‍රිය විය. ප්‍රාන්තයේ බහුතර ප්‍රදේශයක අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා ද බිඳ වැටිණි. කැරලිකරුවෝ පොලිස් ස්ථාන තුනක් ගිනි බත් කළහ. අනතුරුව පැමිණි හමුදා හෙලිකොප්ටර මගින් කැරලි කරුවන් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කෙරිණි.
50,000කට අධික ජනගහණයකින් යුත් කාන්තාරබද නුෂ්කි නගරයේ පොලිස් ස්ථාන තුනක සහ තවත් ආරක්ෂක මුරපොල කිහිපයක පාලනය මුළුමනින්ම කැරලිකරුවන් අතට පත් විය. කැරලිකරුවෝ රාජ්‍ය නිලධාරීන්ට අයත් නිවාස සහ වෙනත් රාජ්‍ය දේපල ද නතු කර ගත්හ. රාජ්‍ය ගොඩනැගිලි සංකීර්ණය බලහත්කාරයෙන් අත්පත් කරගත් ඔවුහු නියෝජ්‍ය කොමසාරිස්වරයා ද ප්‍රාණ ඇපකරුවකු ලෙස රඳවා ගත්හ. නගරයේ පාලනය යළි සියතට ගැනීම පිණිස ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමේදී පොලිස් නිධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
බලොකිස්ථානය, ඛනිජ සම්පතින් පොහොසත් කලාපයකි. එය ඉරානයට සහ ඇෆ්ඝනිස්ථානයට දේශසීමාව පිහිටියේය. චීන ආයෝජනයෙන් එහි, ග්වාඩාර් වරාය සහ තවත් ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක ය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Pakistan sends helicopters, drones to end desert standoff; 58 dead
Pakistan military says it concludes week-long fight against Baloch separatists







