බලශක්ති සහ ජල භාවිතය පිළිබඳ බරපතල ගැටලු මධ්‍යයේ නව රෙගුලාසි කරලියට
සංවර්ධන ප්‍රතිලාභ සාධාරණව බෙදී යන්නේදැයි ජනතාවගෙන් ප්‍රශ්න කිරීමක්
ලෝකයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් රැසකගේ නිවහන වන ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සිලිකන් වැලිහි ප්‍රධාන නගරයක් වන සැන් හොසේ (San Jose) හි කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වේගයෙන් පුළුල් වෙමින් පවතී. රජයේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ අදහස වන්නේ මෙම කර්මාන්තය ආර්ථික තරගකාරීත්වය ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය බවයි. එහෙත්, මේ සඳහා අවශ්‍ය වන අධික විදුලි බලය, ජල පරිභෝජනය සහ පරිසර දූෂණය පිළිබඳව ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් අතර දැඩි විරෝධයක් මතුව තිබේ.
පසුගිය වසරේ සැන් හොසේ නගරයේ නායකයන්, විශාල වශයෙන් විදුලිය පරිභෝජනය කරන දත්ත මධ්‍යස්ථාන වෙත ඉක්මනින් විදුලිය ලබා දීම සඳහා 'පීජී ඇන්ඩ් ඊ' (PG&E - Pacific Gas and Electric) විදුලි සමාගම සමඟ විශේෂ එකඟතාවකට ද පැමිණියහ. නගර සභාව ඇස්තමේන්තු කර ඇති ආකාරයට, මෙවැනි එක් දත්ත මධ්‍යස්ථානයකින් පොලිස්, ගිනි නිවීම්, පුස්තකාල, මාර්ග සහ උද්‍යාන සංවර්ධනයට වාර්ෂිකව ඩොලර් මිලියන 3ත් 6ත් අතර බදු ආදායමක් ලබා ගත හැකිය.
ප්‍රතිලාභ බෙදීයාම ගැන ජනතාවගෙන් ප්‍රශ්න
![]()
සිලිකන් වැලිහි ධනවත්කම ඉහළ මට්ටමක පැවතුණද, තාක්ෂණික දියුණුවෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත සාධාරණ ලෙස බෙදී යයිද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ සැකයකි.
"මෙම සමාගම් අපගේ සම්පත් භාවිතා කිරීමට සුදුසු වන්නේ ඇයිද යන්න සහ ප්‍රජාවට ඔවුන් එය ආපසු ලබා දෙන්නේ කෙසේද යන්න අපට ඔප්පු කළ යුතුයි" යනුවෙන් 'අයි ලව් සැන් හොසේ' (I Love San Jose) සංවිධානයේ නායකයෙක් වන එලිනා යින් පවසයි. ඇය ඇතුළු පිරිස ඉල්ලා සිටින්නේ නව ව්‍යාපෘති අනුමත කිරීමට පෙර දැඩි මහජන සමාලෝචනයක්, විදුලි හා ජල පරිභෝජනය පිළිබඳ විනිවිදභාවයක් සහ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලෙසයි.
නගරයේ මේයර් මැට් මහන් (Matt Mahan) සඳහන් කරන්නේ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සම්පූර්ණයෙන්ම නැවැත්වීම විසඳුම නොවන බවත්, එහෙත් එය වගකීමෙන් යුතුව සිදු කිරීම තවදුරටත් තහවුරු කළ යුතු බවත්ය. "මගේ විදුලි බිල වැඩිවෙනවද? අපේ පිරිසිදු ජල සම්පත මේ නිසා නාස්ති වෙනවද? නගරයේ ජීවන තත්ත්වය මේ නිසා පිරිහෙයිද? කියලා ජනතාව අසන ප්‍රශ්න ඉතා සාධාරණයි" යැයි ඔහු පෙන්වා දෙයි.
නව නීති සහ රෙගුලාසි කරලියට
මෙම ගැටලු සම්බන්ධයෙන් මේ වන විට කැලිෆෝනියා ප්‍රාන්ත අගනුවර වන සැක්‍රමෙන්ටෝ (Sacramento) නගරයේ ද දැඩි අවධානයක් යොමුවී තිබේ. දත්ත මධ්‍යස්ථාන බල ගැන්වීමේ පිරිවැයෙන් ප්‍රදේශවාසීන් ආරක්ෂා කිරීමට සහ ඒවායේ බලශක්ති හා ජල පරිභෝජනයේ විනිවිදභාවය වැඩි කිරීමට අදාළ පනත් කිහිපයකට ප්‍රාන්ත සෙනෙට් සභාව සහ මන්ත්‍රී මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
කෙසේ වෙතත්, ගූගල්, මෙටා, ඕපන්ඒඅයි සහ ඇන්ත්‍රොපික් වැනි සමාගම් නියෝජනය කරන 'දත්ත මධ්‍යස්ථාන සන්ධානය' (Data Center Coalition) නම් කර්මාන්ත වෙළඳ සමිතිය පෙන්වා දෙන්නේ මෙම නව පනත් මගින් අනෙකුත් කාර්මික සහ වාණිජ විදුලි පාරිභෝගිකයින් ඉවත් කර දත්ත මධ්‍යස්ථාන පමණක් අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බවයි. මෙයින් ආයෝජන අධෛර්යමත් වී රැකියා සහ බදු ආදායම් වෙනත් ප්‍රාන්ත වෙත පලා යා හැකි බවටද ඔවුන් අනතුරු අඟවා තිබේ. ප්‍රාන්ත ආණ්ඩුකාර ගෙවින් නිව්සම් (Gavin Newsom) වෙත මෙම පනත් අත්සන් කිරීමට හෝ නිෂේධ කිරීමට මේ මස අග දක්වා කාලය ලබා දී ඇත.
වැඩිදුර කියවීම සඳහා මුල් ලිපිය:
Reuters -In Silicon Valley, AI data center boom meets local resistance







