leader s

ඇප ඉල්ලීම සලකා බැලීම 29 වන දාට: විත්තිය සහ පැමිණිල්ලෙන් ලිඛිත දේශන කැඳවයි.  


දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මුල්කරගෙන දීර්ඝ විවාදයක්.  


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර් 29 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළේය. සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කිරීමට ද අධිකරණය තීරණය කළේය.  

මෙම ඇප ඉල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන සැප්තැම්බර් 22 වන දා ද, පැමිණිල්ල වන අල්ලස් කොමිසමේ ලිඛිත දේශන සැප්තැම්බර් 25 වන දා ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය.  

අල්ලස් කොමිසම සහ CID ඒකාබද්ධ විමර්ශනය  

නඩුකරය කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කරුණු දක්වමින්, මෙම සැකකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන නඩුකරයකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ද ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පැවසීය.  

අල්ලස් චෝදනා මෙන්ම මුදල් විශුද්ධිකරණ ගනුදෙනු ද එකිනෙක බැඳී පැවතීම හේතුවෙන්, අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඒකාබද්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත්, නව දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන අනුව නීතිපති උපදෙස් ලබාගැනීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.  

විමර්ශන ප්‍රගතිය දැක්වූ පැමිණිල්ල, මෙම ගනුදෙනුව සිදුවූ බව කියන සමයේ හිටපු කතානායක චමල් රාජපක්ෂ ගේ නිල නිවසේ පැවැති රැස්වීමක් සම්බන්ධයෙන් හා විදේශගතව සිටින සැකකරුවකු සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ ගෙන් මෙන්ම සුසන්ත චමින්ද රත්නායක සහ දිමුතු සංජය යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව දැනුම් දුන්නේය.  

වරෙන්තුකරුවන්ට ජාත්‍යන්තර රතු නිවේදන  

මෙම නඩුවේ පළමු සැකකරු වන හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ වන විට මියගොස් ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සිටින බව කියන දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ඇමෙරිකාවේ සිටින තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා රතු නිවේදන (Red Notices) නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බව රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.  

දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ කොමිසම විසින් ඉදිරිපත් කර ඇති සහතිකය අනුව, ඇප ලබා දිය හැක්කේ නීතියෙන් පිළිගත හැකි සුවිශේෂී කරුණු ඉදිරිපත් වන්නේ නම් පමණක් බවත්, විමර්ශන අවසන් අදියරේ පවතින බැවින් සැකකරුට ඇප ලබාදීමට විරෝධය පළ කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.  

විත්තියෙන් ඉදිරිපත් වූ ඇප තර්ක  

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, එයාර් බස් ගනුදෙනුව පිළිබඳව මීට පෙර සිදුකළ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ වාර්තාවල සැකකරුගේ නම සඳහන්ව නොතිබූ බව ප්‍රකාශ කළේය.  

මෙම චෝදනාවට මූලික වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පසුවන නිමල් පෙරේරා නමැති අයෙකුගේ ප්‍රකාශයක් බවත්, ඔහු විසින් විවිධ අවස්ථාවල පරස්පර සහ සාවද්‍ය ප්‍රකාශ සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බී වාර්තාවලින්ම පෙනී යන බවත් විත්තියේ නීතිඥවරයා තර්ක කළේය.  

ඊට අමතරව, ඉන්දීය රජයෙන් ලැබුණු නිල ආරාධනාවක් අනුව එරට සංචාරයක නිරත වීමට තිබීම සහ සැප්තැම්බර් 26 වන දින ඓතිහාසික විහාරස්ථානයක පැවැත්වෙන කොත පැළඳවීමේ පුණ්‍යෝත්සවයකට ප්‍රධාන ආරාධිතයකු ලෙස එක්වීමට ආරාධනා ලැබී තිබීම යන කරුණු සුවිශේෂී තත්ත්වයන් ලෙස සලකා ඇප නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.  

පැමිණිල්ලේ ප්‍රතිචාරය සහ අධිකරණ නියෝගය  

විත්තියේ තර්කවලට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, සාක්ෂිකරුවෙකුගේ විශ්වාසනීයත්වය පිළිබඳ නිගමනයකට එළඹිය හැක්කේ නඩු විභාගයකදී මිස ඇප සලකා බලන අවස්ථාවේදී නොවන බව පෙන්වා දුන්නේය. විදේශ සංචාර හෝ ආගමික උත්සව සඳහා වන පෞද්ගලික සහභාගීත්වයන් නීතිය හමුවේ "සුවිශේෂී නෛතික කරුණු" ලෙස පිළිගත නොහැකි බවත් ඔහු තර්ක කළේය.  

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 29 වන දාට කල් තබමින් සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.   

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්