leader s

පාසල් අධ්‍යාපනය හැර විලියම් මඩුවන්වෙල නැවත බලංගොඩ මහවලතැන්න වලව්වට පැමිණ සිය මාමාගේ සෙවණේ දිවි ගෙවන්නට විය. කොලොන්න කෝරළයේ තම මවට අයත් නින්දගම් ද ඇතුළු විශාල බූදලයක් මඩුවන්වෙල තිබෙන බව විලියම් මඩුවන්වෙල තම මාමා වූ එක්නැලිගොඩ නිලමේගෙන් දැනගෙන තිබිණි.  
     
තමාට හිතවත් සේවකයින් කිහිප දෙනෙකු ද සමඟ මඩුවන්වෙලට ගිය විලියම් මඩුවන්වෙල තරුණයාට මහත් පුදුමයක් දැනිණි. එය ඉතා විශාල වලව්වකි. ඒ වන විට එහි කිසිවකුත් පදිංචිව සිටියේ නැත. මඩුවන්වෙල තරුණයාගේ පියා වූ මොළමුරේ රටේ මහත්තයා, සිය බිරිඳ එක්නැලිගොඩ කුමාරිහාමි, එනම් මඩුවන්වෙල ගේ මව මියගිය පසු වෙනත් විවාහයක් කරගෙන ඒ වන වනවිට පදිංචිව සිටියේ මාකඳුරේ පිහිටි මොළමුරේ වලව්වේ ය. මඩුවන්වෙල වලව්ව බලා කියා ගැනීමට සේවකයන් කිහිප දෙනෙක් යොදවා තිබිණි. නමුත් ඔවුන්ගේ කාර්යය හරි හැටි ඉටුවී නැති බව මඩුවන්වෙල තරුණයාට එහි ගිය සැණින් වැටහිණි. වලව්ව තැන් තැන්වලින් ගරා වැටෙමින් පැවතියේය.
       
නින්දගමේ මිනිසුන් ලවා, වලව්ව මෙන්ම එය පිහිටි ඉඩම ද මුළුමනින්ම ශුද්ධ පවිත්‍ර කර ඉන්පසු ඔහු වලව්ව සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළේය. ඔහු කුඩා කල සිට හදාවඩාගත් මාමා වන එක්නැලිගොඩ නිලමේ ද මෙහිදී මඩුවන්වෙල තරුණයාට සහාය විය. මේ සියල්ල සිදු කිරීමෙන් පසු වලව්වේ පදිංචි වූ මඩුවන්වෙල, මාමා මෙන්ම නැන්දා වන දංගමුවේ කුමාරිහාමිත් තම වලව්වට පදිංචි කැඳවා ගත්තේය. 
 
Maduwanwela walawwa 1
       
නින්දගමින් ලැබෙන ආදායම් ඒ වනවිට අඩුවී තිබුණේ ඒවා ගැන සොයා බලන්නට කෙනෙක් නොසිටි නිසා ය. ආදායම් වැඩි කර ගන්නා ආකාරය ගැන මඩුවන්වෙල තරුණයාට මාමාගෙන් උපදෙස් ලැබිණි.  
       
maduwanwela hoමුලින්ම කළේ නින්දගම් යාය කොටස් වශයෙන් වෙන් කිරීම ය. ඒ හැම කොටසකටම ගම්භාරවරු පත්කරනු ලැබිණි. ප්‍රධාන ගම්භාරේ තනතුරට පත් කරනු ලැබුවේ, කෑල්ලේ මහගම්මැද්දේ රාලහාමි ය. මහගම්මැද්දේ පරම්පරාවම මඩුවන්වෙල පරම්පරාවට හිතැති, විශ්වාස කටයුතු පිරිසක් වීම ඊට හේතුවයි. 
       
මේ වනවිට විලියම් මඩුවන්වෙල ගේ වයස විසිපහ ද සම්පූර්ණ වී තිබිණි. ඔහුට සුදුසු සහකාරියක් සොයා දීමට එක්නැලිගොඩ නිලමේත්, දංගමුවේ කුමාරිහාමිත් කතිකා කරගත්තේ ඔහු කුඩා වියේ සිට දෙමාපියන් සේ හදා වඩාගත් මාමා සහ නැන්දා ලෙස එය තමන්ගේ යුතුකමක් වූ බැවිනි. අවසානයේ ගැලපෙන කුල කුමරියක් ඔවුනට හමුවිය. ඇය "විජේරත්න රාජකරුණා වාසල මුදියන්සේලාගේ දඹවින්නේ කුමාරිහාමි" ය. මේ දෙදෙනාගේ විවාහය 1869 වසරේ දී සිදු කරනු ලැබීය.
       
මඩුවන්වෙල තරුණයාගේ පළමු විවාහය සිදුවුණේ එක්නැලිගොඩ කුමාරිහාමි නම් තරුණියක සමඟ බව ඇතැම් ලේඛනවල සඳහන් වුවද එක්නැලිගොඩ කුමාරිහාමි යනු ඔහුගේ මව මිස බිරිඳ නොවන බව මඩුවන්වෙල මහදිසාවේගේ සහ මඩුවන්වෙල වලව්වේ අතීතය පිළිබඳව ගවේෂණය කර තොරතුරු රැසක් අනාවරණය කර ගත් හිටපු පුරා විද්‍යා ගවේෂණ නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා පවසයි. ඒ අනුව විලියම් මඩුවන්වෙල තරුණයා මුලින්ම විවාහ වුයේ දඹවින්නේ කුමාරිහාමි සමඟ ය. ඇය දඹවින්න දිසාවේ සහ දෙහිගම මද්දුම කුමාරිහාමිගේ දියණියයි. එම විවාහයෙන් පසු දඹවින්නේ කුමාරිහාමි මඩුවන්වෙල කුමාරිහාමි ලෙස හැඳින්විණි.
 
Maduwanwela walawwa 7.jpg
       
1872 වසරේ දී ඇය දියණියක බිහි කළාය. ඇය උපතින් ම ආබාධිත ය. ඇගේ නම ඩිංගිරි වූ බැවින් ඩිංගිරි අප්පෝ ලෙසින් ඇයව ආමන්ත්‍රණය කළත්, නැති තැන කවුරුත් ඇය හැඳින්වූයේ "කෙර මැණිකේ" ලෙසිනි.
       
වර්ෂ 1885 කාලයේ දී එවකට කොලොන්න සහ අටකලම්පන්න යන කෝරළ දෙකේම රටේ මහත්තයා තනතුර දරමින් සිටි මාකඳුරේ ධර්මාලංකාර සෙනරත් පණ්ඩිත මුදියන්සේ බණ්ඩාර රටේ මහත්තයා මිය ගියේය. එනිසා එම කෝරළ දෙකේ රටේ මහත්තයා තනතුර පුරප්පාඩු විණි. එහෙත් විශාලත්වයෙන් වැඩි සහ පිහිටීම අනුවත් බොහෝ විෂමතා පැවති මේ කෝරළ දෙකේ රාජකාරි එක රටේ මහත්තයෙකුට කිරීම අසීරු බව රත්නපුර උප ඒජන්තවරයා වූ හර්බට් වේස් මහතා වටහාගෙන සිටියේය. ඔහු එවකට ආණ්ඩුකාර සර් ආතර් හැමිල්ටන් ගෝඩ්න් වෙත මේ පිළිබඳව දන්වමින් කියා සිටියේ කෝරළ දෙකට කෝරාළවරුන් දෙදෙනකු පත් කිරීම උචිත බවයි. ආණ්ඩුකාරවරයා ඊට එකඟතාව පළ කර තිබිණි.
         
maduwanwela puwaruwa
ඉන්පසු කෝරළ දෙකේ රටේ මහත්තයා තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබීය. කිහිප දෙනෙකුම අයදුම්පත් එවා තිබූ අතර ඉන් එක් අයකු වූයේ විලියම් මඩුවන්වෙල ය. අයදුම්පත් ඒවා තිබූ අය අතුරින් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබුණේ ද මඩුවෙන්වෙල පමණි. කොලොන්න කෝරළයේ වැඩිම ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කීම, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට මෙන්ම ලිවීමට ද හැකිවීම, එවැනි තනතුරකට ඔබින පෞරුෂයකින් යුතු වීම මේ ප්‍රධාන සුදුසුකම් අතර විය. ඒ අනුව කෙලොන්න කෝරළයේ පළවෙනි කෝරාළ ලෙස විලියම් මඩුවන්වෙලට පත්වීම ලැබිණි. අටකලම්පන්න කෝරළයේ කෝරාළ තනතුර විලියම් මඩුවන්වෙලගේම ඥාතියකු වූ රඹුක්පොත නම් අයෙකුට හිමි විය.
       
තමන් ගේ කෝරළයේ දියුණුව වෙනුවෙන් විලියම් මඩුවන්වෙල කෝරළේ මහත්තයා බොහෝ උනන්දුවෙන් වැඩ කළේය. කිසිදු තනතුරක් නොතිබූ කාලයේත් ඔහු මඩුවන්වෙල පදිංචියට පැමිණි පසු ප්‍රදේශයේ මිනිසුන් ගැන ද සොයා බලමින් එහි දියුණුව වෙනුවෙන් නොයෙකුත් වැඩ කර තිබිණි. ඔහු ඒවා කළේ තමන් ජීවත් වන ප්‍රදේශය ලෙසින් සලකා මිස, ඉංග්‍රීසින්ගෙන් පදවි තානාන්තර බලාගෙන නොවේ. කෝරාළ තනතුර ලැබීමෙන් පසු එලෙස තමන්ගේ කෝරළය වෙනුවෙන් වැඩ කිරීම ඔහුගේ වගකීමක් බවට පත්වූ නිසා ඔහු පෙරටත් වඩා උනන්දුවෙන් තම සේවය සිදු කළේය. ඔහුගේ දක්ෂතාවය, කාර්යක්ෂමභාවය වැනිදෑ සැලකිල්ලට ගනිමින් වැඩිකල් නොයවාම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් ඔහු රටේ මහත්තයා තනතුරට උසස් කරනු ලැබිණි. එපමණක් නොව බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා මහරැජිනගේ අනුමැතියෙන් "සර්" (ශ්‍රීමත්) යන නම්බු නාමය ද විලියම් මඩුවන්වෙල රටේ මහත්තයා වෙත ප්‍රදානය කළේය.
 
 
තවත් කොටසක් ලබන සතියේ 
 
මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
 
ඡායාරූප - අන්තර්ජාලය
 

සටහන : ඉන්දු පෙරේරා

 

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්