තම වලව්ව ඉදිරිපිට පාරෙන් කොලොන්න පැත්තේ සිට සුදු ඒජන්තවරයකු අශ්වයකු පිටනැගී යන ආකාරය මඩුවන්වෙල මහදිසාවේ මිදුලේ හිඳ බලා සිටියේය.
මහදිසාවේගේ නීතිය වුණේ තම වලව්ව ඉදිරියෙන් අශ්ව කරත්තයක, දෝලාවක මේ කුමන එකක නැගී ගියත් වලව්ව ඉදිරිපිට දී එයින් බැස ඒ ටික දුර පයින් ගොස් වලව්ව පසුවූ විට නැවත ඊට නැග ගත යුතු බවයි. නමුත් සුදු ඒජන්තවරයා අශ්වයා පිටින් බසින්නේ නැතිව දිගටම යනු දුටු මහදිසාවේ වහාම තම සේවකයන් ලවා ඔහු අශ්වයා පිටින් බස්සවාගෙන වලව්ව මිදුලට ගෙනාවේය.
"තමුන් දන්නෙ නැද්ද වලව්ව ඉස්සරහින් යනකොට වාහනවලින් බැහැලා පයින් යන්න ඕනෙ කියලා"
එසේ කී මහදිසාවේ සුදු ජාතිකයාව ගස් බඳින ලෙස සේවකයන්ට නියම කළේය. කෑම බීම ළඟට දුන්නත් දින දෙකක් පමණ ගසක බැඳී සිටීම ලේසි පහසු දඬුවමක් නොවේ. සුද්දාව ලිහා දැමූ පසු ඔහු ආපසු ගොස් රත්නපුර මහඒජන්තවරයාට පැමිණිලි කළේය. මින් මහඒජන්තවරයා බෙහෙවින් කෝපයට පත් විය. ඔහු වහාම පිරිසක් මඩුවන්වෙල බලා පිටත් කළේ මහදිසාවේට දඬුවම් ලබා දීම පිණිස අල්ලාගෙන එන්නට ය.

අශ්ව කරත්තවලින් ගමන් ගිය ඒ කාලයේ රත්නපුර සිට කොලොන්නට එන්නට දවස් ගණනක් ගතවේ. තමන්ව අල්ලා ගන්නට පිරිසක් එන බව ඒ කාලය තුළ මහදිසාවේට ආරංචි විය. ඔහු කිසිවකුටත් යටත් වන හෝ කාටවත් මෙල්ල කළ හැකි අයෙකු නොවේ.
හරියටම පිරිස කොලොන්නට ළංවන දිනයේ මහ දිසාවේ අංග සම්පූර්ණ කෑම වේලක් සේවකයන් ලවා පිළියෙළ කළේය. එහි දඩමස්, කුරක්කන්, කිරි පැණි, විවිධ ධාන්‍ය සහ එළවළු වර්ග ආදී වශයෙන් එකල තිබූ ආහාර අතරින් නොතිබූ දෙයක් නැති තරම් ය. විශේෂම දෙය වූයේ මේ සියලුම ආහාර පිසීමේදී ඊට කංසා එකතු කරන ලෙස නියෝග කිරීම යි.
පිරිස වලව්වට පැමිණෙන්නට ආසන්න වනවිට සියලුම ආහාර වර්ග බඳුන්වලට බෙදා මේසය සරසා තිබිණි. මේසය පිරෙන්නට ආහාර තිබූ අතර කංසා එකතු කිරීම නිසා ආහාරවලින් ප්‍රණීත සුවඳක් වහනය වූයේය. මහ දිසාවේ මේ සියල්ල සූදානම් කරවා වලව්වේ මහල් ගොඩනැගිල්ලේ තම රහස් කාමරය තුළ සැඟවිණි. එම රහස් කාමරය නිර්මාණය කර තිබුණේ හදිසි අවස්ථාවකදී ඊට සම්බන්ධ රහස් පඩි පෙළක් හරහා කැලයට පැන සැඟවී යා හැකි ආකාරයට ය.
වලව්ව තුළට වැදුණු සුදු නිලධාරීන්ට කෑම මේසයත්, දසත පැතිරී තිබූ එම කෑමවල සුවඳත් නිසා අනෙක් සියල්ල අමතක විය. ඔවුහු ආ කාරිය මඳකට ප්‍රමාද කර මේසයට පැමිණ සියලුම කෑම වර්ග බෙදාගෙන කන්නට පටන් ගත්හ. වැඩි වෙලාවක් ගියේ නැත. සියලු දෙනාටම තදබල නිදිමතක් දැනෙන්නට පටන් ගත්තේය. ඔවුහු මත්වී කෑම මේසය අසල තැන තැන වැටී නිදන්නට වූහ.
මේ සියලු දේ රහස් කාමරයේ සිට සේවකයන් වෙතින් දැනගෙන කාමරයෙන් පිටතට පැමිණි මහදිසාවේ උන් සියලු දෙනාම කරත්තවල පටවාගෙන ගොස් ප්‍රපාතයකට අතහරින ලෙස සේවකයන්ට නියම කළේය.
තමන්ගේ කණ්ඩායම ආපසු නොපැමිණි බව දැක සුදු මහඒජන්තවරයා කරුණු සොයා බලද්දී මහදිසාවේ උන්ට කර ඇති හදිය දැන ගත්තේය. ඒ අනුව මඩුවන්වෙල මහදිසාවේ බය ගන්නාගෙන වැඩ ගතහැකි පුද්ගලයකු නොවන බව සුදු ආණ්ඩුවට වැටහිණි. ඒ නිසාම තාන්නමාන්න ආදිය දී ඔහුව හිතවත්කමින් තබා ගන්නට ඔවුහු තීරණය කළහ. මහදිසාවේ ද තමන් සමග අරියාදුවට එන්නන් බය ගන්නා ගත්තත් සුද්දන් සමග සහයෝගයෙන් වැඩ කරගෙන ගියා මිස ආරවුල් ඇති කර ගත්තේ නැත.

මඩුවන්වෙල මහ දිසාවේ සම්බන්ධ තවත් අපූරු කතා තිබේ. වලව්ව ඉදිරියෙන් දිනක් කත්කාරයකු ගියේය. මේ ප්‍රදේශවල බොහෝ කිතුල් ගස් ඇති බැවින් කිතුල් රාවලින් හකුරු සෑදීම ජයටම කෙරේ. මේ කත්කාරයාගේ කදේ එක පැත්තක තිබුණේ පොල් කටුවල මුදවා සකස්කළ හකුරු බෑ ගොඩකි. කදේ අනෙක් පැත්ත කොටසේ හකුරු ගුලි තිබිණි. පොල්කටුවලින් හකුරු බෑ ගලවා ගත් පසු එහි අඩියේ ඉතිරිවන කොටස් සූරාගෙන මෙම හකුරු ගුලි සකස් කෙරේ.
කත්කාරයා යනු දැක මහදිසාවේ ඔහු නතර කර ගත්තේය.
"මොනවද මේකෙ?"
"හකුරු දිසා හාමුදුරුවනේ"
"එතකොට අනිකෙ?"
කත්කාරයාට කියන්නට දෙයක් නොවිණි. ඒවා හකුරු ගුලි බව කියන්නට ඔහු පසුබෑවේය.
"ඒවා බකුරු දිසා හාමුදුරුවනේ" ඔහු ඒ මොහොතේ කටට ආ වචනයක් පැවසීය.
"එහෙමද? එහෙනම් වරෙන්කො ඇතුළට"

කත්කාරයාව තමන් ගේ මිදුලට කැඳවූ මහදිසාවේ ඔහුට මිදුලේ ඇති ගසක් පෙන්වා එහි නගින ලෙස නියම කළේය. තමාට වැඩේ වැරදුණු බව වැටහුණත් කළ හැකි කිසිවක් කත්කාරයාට නොමැති විය. ඔහු ගසට නැග්ගේය. දෙදිනක් ඔහු ගස උඩ ය. කෑම බීම සේවකයන්ගෙන් ලැබිණි.
"දැන් මොනව හරි උඹට කියන්න තියෙනවද?" දෙදිනකට පසු මහදිසාවේ ගස අසලට ගොස් ඇසීය.
"එහෙමයි දිසා හාමුදුරුවනේ"
"ඒ පාර මොකක්ද?"
"දිසාහාමුදුරුවො වගේ උත්තමයෙක් බිම ඉඳිද්දි මං වගේ කිසිම පලකට නැති එකෙකුව උඩ තියලා ඉන්නකොට මට හොඳ නෑ නේද කියලා හිතුනා දිසාහාමුදුරුවනේ"
එවර නම් මහදිසාවේ තුළ සියුම් ලජ්ජාවක් ඇති වන්නට ඇත.
"බැහැපිය ගහෙන්"
මහදිසාවේගේ අණ ලද සැණින් කත්කාරයා වහ වහා ගහෙන් බැස ගත්තේය.
"කදත් අරන් පල මෙතනින්
ඔහු වහාම පිටව ගියේය.
තවත් කොටසක් ලබන සතියේ
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙළෙන්දා | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා








