නින්දගම්වල ජීවත් වූ මිනිසුන් හැමවිටම රටේ මහත්තයාට, ආරච්චිලාට සේවා සැපයූවෝ වෙති. ආරච්චි තනතුර පසුව ගම්මුලාදෑනි බවට පත් විය. ඒ කාලයේ අපේ සමාජය තුළ නීත්‍යානුකූලව විවාහ ලියාපදිංචි කිරීම තිබුණේ නැත.
ගැහැනු ළමයකු වැඩිවිය පත්වීමෙන් පසු ඇය පිරිමියකු සමග එක් වී පවුලක් වශයෙන් ජීවත් වීමට සුදුසුකම් ලබයි. එසේ ජීවත් වීම හැඳින්වූයේ "සහේට ගැනීම" ලෙසිනි.
තරුණයෙක්, තරුණියකව සහේට ගෙනා පසු එම තරුණයා බිරිඳ සමග මඩුවන්වෙල වලව්වට ගොස් රටේ මහත්තයාව බැහැදැකීමේ සිරිතක් ද තිබිණි.
"හ්ම්... උඹලට දැන් ඉතින් පැල්කොටයක් හදාගන්න තැනකුත් ඕන නේද?"
එසේ පවසන රටේ මහත්තයා නින්දගමෙන් යම්කිසි භූමි ප්‍රමාණයක් ද පැල්කොටයක් අටවා ගැනීම සඳහා ලබා දෙයි. ඒ සින්නක්කරව දීමක් නොවේ. ඉන්පසු එහි පැලක් අටවාගෙන පදිංචි වී හේනක් වගා කරන ඔවුන් අස්වැන්නෙන් කොටසක් (සමහරුන් පවසන්නේ මෙම ප්‍රමාණය 1/10 ක් බව ය.) වලව්වට බදු වශයෙන් ගෙවිය යුතු වේ.

නව යුවළට බොහෝවිට වැස්සි පැටවුන් දෙදෙනකු ද රටේ මහත්තයාගෙන් ලැබේ. මේ පැටවුන් දෙදෙනා ලොකු මහත් වී මුලින්ම බිහි කරන පැටවුන් දෙදෙනාගේ අයිතිය තිබෙන්නේ වලව්වට බව පැවසේ. ඔවුන් කිරි වැරූ පසු වලව්වට භාර දිය යුතුය. ඊළඟට ලැබෙන පැටවුන් දෙදෙනාගෙන් එකෙක් තබා ගත හැකිය. අනෙකා වලව්වට දිය යුතුවේ. මෙසේ මාරුවෙන් මාරුවට වලව්වටත්, තමන්ටත් වශයෙන් පැටවුන් තබා ගත හැකිය.
ඒ කාලයේ මිනිසුන්ට හරකා මහත් සම්පතකි. පිරිමි ගවයින් තවලම්වලට, සීසෑමට ආදී විවිධ බර වැඩවලට යොදා ගන්නා අතරේ ගැහැනු සතුන්ගෙන් කිරි ලබා ගත්හ. පිටිකිරි භාවිතයක් ඔවුන් අතර නොතිබිණි. එවකට හරකා පූජනීයත්වයෙන් සැලකූ නිසා හරක් මැරීම සහ හරක් මස් කෑම ඔවුහු පිළිකුල් කළහ. ඉඳහිට හරකෙක් හොරකම් කරගෙන ගොස් මරා මස් කෑ මිනිසුන් එදත් නොසිටියා නොවේ. ඒ හැර හරකුන් මැරීමක් ගැන අසන්නට නොලැබිණි.
මුදල් භාවිතයට වඩා භාණ්ඩ හුවමාරු ක්‍රමය පැවති ඒ කාලයේ ඔවුහු තමන් වගා කළ කුරක්කන්, තල, මෙනේරි ආදී වූ ධාන්‍ය වර්ගත්, එළකිරිවලින් සාදා ගත් එළඟි තෙල්, කිතුල් ගස් මැද පැණිවලින් සාදාගත් හකුරු වැනිදෑත් දකුණෙන් පැමිණි වෙළෙන්දන්ට දී ලුණු, කරවල, උම්බලකඩ, ජාඩි ආදී තමන්ට සකස් කරගත නොහැකි දේවල් ඔවුන්ගෙන් ලබා ගත්හ. ගම්වල තිබුණේ ස්වයංපෝෂිත ආර්ථිකයකි. ඔවුන් ගත කළේද ඉතාමත් සරල, සැහැල්ලු දිවි පෙවෙතකි.
ගැහැනු දරුවකු වැඩිවිය පැමිණීමෙන් පසු නාවා ගෙට ගෙන ඊළඟට වලව්වට එක්කරගෙන යාමේ සිරිතක් ද මෙම වැඩවසම් යුගයේ පැවති බව කියවේ. වැඩිවිය පැමිණීම මාතෘත්වය සඳහා සුදුසුකම් ලැබීමක් බැවින් ඉන්පසු පිරිමියකුට සහේට දීම ඒ කාලයේ අරුමයක් වූයේ නැත. පිරිමියකු සමග කලක් ජීවත් වී එක් දරුවකු හෝ දරුවන් කිහිප දෙනෙක් සිටියදී එම පිරිමියා මිය යාම, නැතහොත් අතහැරදමා යාම නිසා කාන්තාවකට තනි වෙන්නට සිදුවුවහොත් ඇය, තවත් පිරිමියකු විසින් තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් පවුල් කෑම එකල සමාජයේ සාමාන්‍ය දෙයක් විය. එය අවමානයක් ලෙස කවුරුවත් සැලකුවේ නැත. ඒ දරුවන්ට තමන්ගේ දරුවන් ට සේ සලකාගෙන, ඉන්පසු තමන් නිසා එම කාන්තාවට ලැබුණු දරුවන්ව ද ඔවුන් සමගින් හදා වඩාගනිමින් ඔවුහු තම ජීවිතය සාමකාමීව ගෙන ගියහ. පිරිමියකු නැති ගැහැනුන් සේම ඇය බිහි කළ දරුවන් සිටියොත් ඒ දරුවන් ද අතීත සමාජය තුළ අනාරක්ෂිත නොවුණේ එලෙසිනි. වර්තමානයේ මෙන් ලිංගිකත්වය යන්න මහා අරුමයක්, මැජික් එකක් නොවූයේ ඒ සඳහා තහංචි අතීතයේ නොවූ නිසා ය.

පිරිමින් ගේ ඇඳුම වූයේ බොහෝවිට ම අමුඩයයි. උඩුකයට ඇඳුම් නැත. ගැහැනු ළමයි වැඩිවිය පත් වෙනතුරු ම ඉණට කුඩා රෙදි කෑල්ලක් පමණක් ඇඳ සිටි අතර වැඩිවිය පත්වූ පසු බෙල්ල පිටුපසින් ඉදිරියට ගත් පළල් රෙදි තීරුවක් කතිරයක හැඩයට පියයුරු උඩින් ගෙන එයින් පියයුරු මනාව ආවරණය වනසේ දමා ඉන්පසු පිටෙන් එම රෙදි පටි දෙක එකට එකතු කර ගැට ගසා ගත්හ. ගැහැනුන්ට සහ පිරිමින්ට යට ඇඳුම් කියා වෙනම ඇඳුමක් තිබුණේ නැත. කාන්තාවන්ගේ තනපටයත්, ඉණේ සිට දණහිස තෙක් ඇඳි තනි රෙදි කෑල්ලත් පිරිමින් ගේ හැඟීම් කුපිත කරන්නට හේතුවක් නොවිණි. එනිසා වස්ත්‍ර අඩුවෙන්ම ඇඳි ඒ කාලයේ අද මෙන් මෙරට ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන අසන්නට ලැබුණේ නැත.
කාන්තාවකට දරුවකු ලැබුණු කල එම උපත ලියන්නට සහ දරුවාට නමක් තබන්නට රටේ මහත්තයා ළඟට හෝ ආරච්චි ළඟට යා යුතුය. මෙහිදී තැබිය යුතු නම යෝජනා කරන්නේ ඔවුන් ය. ඒ නම සුද්දන්ගේ නමක් හෝ ප්‍රභූවරයකු ගේ නාමයක් නොවිය යුතුය.
"ළමයට නමක් දාගන්න ඕනෙ හාමුදුරුවනේ" දෙමාපියන් රටේ මහත්තයාට හෝ ආරච්චිට කියන්නේ ඉතා බැගෑපත්ව ය.
"හ්ම්.......කොල්ලා කිරි එහෙම හොඳට බොනවද?"
"එහෙමයි හාමුදුරුවනේ"
"එහෙනම් ඕකට දාපන් කිරිහොඳා කියලා"
"එහෙමයි"
ඒ දරුවාට නම වැටෙන්නේ කිරිහොඳා යනුවෙනි. කිරි බීම එතරම් ප්‍රිය නොකරන්නේ නම් "කිරිඩිංගා" ය.
නමුත් හැමවිටම නම් තබන්නේ කිරි බීම ගැන විමසමින් නොවේ. තවත් මාපිය යුළක් දරුවා රැගෙන ආරච්චිල වෙත ගොස් ඇත.
"හාමුදුරුවනේ කොල්ලට සරදියෙස් කියලා නම තියන්න අපි මනාපයි"
දරුවාගේ පියා පවසා ඇත්තේ හිස බැඳ ගෙන ආ ජටාව දෑතේ ගුලි කරගෙන තුනට හතරට නැවීගෙන ය.
"තොපේ මනාපකම්වල හැටියට මේව කොරන්න බෑ බොලව්"
"එහෙමයි" එම ගෝරනාඩුව හමුවේ ඔහු තව ටිකක් පහත් වූයේය.
"කොල්ලගෙ නම සරදියෙලා. තේරුණානෙ"
"එහෙමයි"
ඔවුන්ගේ දරුවාගේ නම සඳහන් කර ගැනුණේ සරදියෙලා ලෙසිනි.
ප්‍රාදේශීය පාලකයන් හිංසක ගම්වැසියන්ව එකල කොතරම් පාගාගෙන සිට ඇතිදැයි කිවහොත් එක් ප්‍රදේශයක ආරච්චි කෙනෙකු දිළිඳු මාපිය යුවළකගේ දැරියකට "හිඟන්නී" යනුවෙන් නම තබා ඇති බව පැවසුවේ එම ප්‍රදේශයේ වැසියෙකි. මින් පරම්පරා තුන හතරකට ඉහත මීටත් වඩා අන්ත නම් පවා තිබූ ගැමියන් ගැන තමන් අසාඇති බව ඔවුහු කියති.
මේ මිනිසුන්ට අනාගත බලාපොරොත්තු කියා දෙයක් නොතිබිණි. දරුවන් සම්බන්ධයෙන් අහස උසට අපේක්ෂාවන් තිබුණේ නැත. දරුවන්ට යන්තම් බෙහෙත් සීට්ටුවක් කියවා ගන්න අකුරු සාස්තරය ඉගැන්වීම ප්‍රමාණවත් ලෙස ඔවුහු සැලකූහ. දරුවා පාසලකට දැම්මත් එම දරුවෝ බොහෝවිට පාසලට නොයති.

"ඇයි උඹ අද ඉස්කෝලේ යන්නේ නැද්දැ" යි මව හෝ පියා අසන්නේ නැත. හේන් කුඹුරුවල වැඩ තිබෙන කාලයට නම් ළමයින් පාසල් යන්නේ නැති තරම් ය. ඒ කාලවලට පාසල්වල පන්ති හිස් ය. දෙමාපියන් ද වඩාත් කැමති වූයේ දරුවන් ගෙදර තබා ගන්නට ය. දරුවන් පාසල් නොපැමිණෙන විට පාසලේ විදුහල්පතිවරයා ගම්මුලාදෑනියා සමග ළමයින් සොයා ගෙවල්වලට පැමිණෙයි. ඒ කෙසේ හෝ පාසලට කැඳවාගෙන ඔවුන්ට උගන්වන්නට ය. විදුහල්පතිවරයා එනවිට ළමයින් ගෙතුළ සැඟවීමට පවා මව්පියෝ පෙළඹුණහ.
උගන්වන්නට උනන්දු නොවූවත් පාළනයක් නැතිවම දරුවන් හැදීම ඔවුන්ගේ සිරිත විය. එකල පවුලක දරුවන් පහළොවක්, දාසයක් හිඳීම පවා සාමාන්‍ය දෙයක් වූයේය. සමහර ශක්තිවන්ත පිරිමි එක කාන්තාවක් සහේට ගෙන ටික කලකට පසුව එම බිරිඳගේ බාල සහෝදරියව ද එම නිවසේ ම තබාගෙන පවුල් කන්නේ දේපොළ පිට යාම වළක්වා ගන්නට ය. මෙවැනි දේවල් එකල ලජ්ජාවක් හෝ අවනම්බුවක් වූයේ නැත. ඉන්පසු එම කාන්තාවන් දෙදෙනාම සෑහෙන දරු පිරිසක් පවුලට එකතු කරති. ඔවුන්ට අවශ්‍ය තම හේන්වල වැඩ කරන්නට ශ්‍රම සම්පත් ය. එනිසා දරුවන් වැඩිවන තරමට පවුලට හොඳ ය. ඔවුන්ගේ ආර්ථිකය සැකසී තිබුණේ හේන් වගාවෙනි. හේන් වගාවට මානව සම්පත අවශ්‍ය වෙයි.
යන්තම් අතපය හතර ලොකු මහත් වනවිට පිරිමි දරුවෝ පියා සමග හේනට යති. මව ද ඔවුනට අත්උදව්වට යාම සිරිත ය. මව ගියවිට කුඩා නංගිලා මල්ලිලා බලා ගන්නේ පවුලේ වැඩිමහල් දියණිය යි. එනිසා එකල පවුලක වැඩිමහල් ම සහෝදරයා ඒ පවුලේ බාලයින්ට දෙවෙනි පියා වූ අතර වැඩිමහල් ම සහෝදරිය දෙවෙනි මව විය. එම ගරුත්වය බාලයින්ගෙන් ඔවුනට ලැබිණි. යම් හෙයකින් පියා අකාලයේ මිය ගියහොත් මුළු පවුලේම බර කරට ගත්තේ ඒ වැඩිමහල් සහෝදරයා ය.
තවත් කොටසක් ලබන සතියේ
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත්, ඇඹිලිපිටියේ සටන් කලා උපදේශක තිලක් පනාමුර මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙළෙන්දා | ඉන්දු පෙරේරා








