මඩුවන්වෙල දිසාවේ
මඩුවන්වෙල අයත් වූයේ කොලොන්න කෝරළයට ය. එම කෝරළය පාලනය කළේ මඩුවන්වෙල දිසාවේ හෙවත් මඩුවන්වෙල රටේ මහත්තයා ය. ගමේ කවුරුත් මඩුවන්වෙල දිසාවේ හැඳින්වූයේ රටේ මහත්තයා යනුවෙනි. ඔහුව ආමන්ත්‍රණය කළේ "හාංදුරුවනේ" ලෙසිනි. සමහරුන්ට එය කියවුණේ "හාංදුන්නේ" වශයෙන් වූ අතර ඒ "හාමුදුරුවනේ" යන වචනය කටවහරට එනවිට වෙනස් වී තිබූ ආකාරයයි.
වැඩවසම් යුගයේදී රට පාලනයේ පහසුව තකා කෝරළ ගණනකට බෙදා තිබිණි. එක් කෝරළයකට ගම් රාශියක් අයත් විය. කෝරළය තවදුරටත් පත්තු වශයෙන් බෙදා වෙන්කර තිබුණේ පරිපාලනය පහසු වන්නට ය. පත්තුවට අයිති වූයේ ගම් කිහිපයක් පමණි. පත්තුවෙන් පසුව තිබුණේ ගම ය. ගමේ පාළනය තිබුණේ ආරච්චිල අත ය. පසුව ගම්මුලාදෑනි ලෙස හැඳින්වූයේ මේ ආරච්චිලා ය. ආරච්චි සිටියේ රටේ මහත්තයා යටතේ ය.

මේ අනුව ගම, ගම් කිහිපයක් එක්වී පත්තුව, පත්තු කිහිපයක් එක්වී කෝරළය ආදී වශයෙන් වැඩවසම් යුගයේ දී රට පරිපාලනයේ පහසුව තකා වෙන් වෙන්ව කඩා තිබිණි. රටේ සියලු ඉඩම්වල අයිතිය රජ්ජුරුවන් සතු විය. රජුට සේවා සපයන රටේ මහත්තුරුන්ට රජ්ජුරුවන් විසින් නින්දගම් ලබා දුන් අතර එය ප්‍රවේනිය නම් වෙයි. ගම්මුන් මෙය හැඳින්වූයේ "පරවේනිය" ලෙසිනි. මේ ඉඩම්වල ජීවත් වන ජනතාව ප්‍රවේනිදාසයන් ය. ඔවුන් ඉඩම්වල වගා කටයුතු කර රටේ මහත්තයාට බදු ගෙවිය යුතුය. බදු ගෙවන්නේ මුදලින් නොවේ. ඉඩම්වල හේන් වගා කර එම අස්වැන්නෙන් කොටසකි.
මඩුවන්වෙල රටේ මහත්තයා ට හිතවත් ගම්භාරලා සිටියහ. ගම්භාර යනු තනතුරක් නොවේ. හරකුන් විශාල ප්‍රමාණයක් හිමි අය, කුඹුරු විශාල ප්‍රමාණයක් වගා කළ අය එකල ගම්මුන් හැඳින්වූයේ ගම්භාර ලෙසිනි. මෙම ගම්භාරලා එක්තරා ආකාරයකට චණ්ඩියෝ ය. රටේ මහත්තයා තමා ගේ පාළනය ට අයත් ප්‍රදේශවල මිනිසුන්ගෙන් බදු එකතු කරගෙන ඒම භාර කළේ ගම්භාරලාට ය.
"කොයි එකෙක් හරි බදු ගෙව්වෙ නැත්නම් උගෙ ගේ ගිනි තියල වරෙල්ලා" ඒ මඩුවන්වෙල රටේ මහත්තයාගේ නියමයයි.
ඒ කාලයේ සාමාන්‍ය මිනිසුන් ගේ නිවෙස් යනු වහලයට ඉලුක් සෙවිලි කළ කුඩා පැල්පත් ය. මේ ප්‍රදේශ ද කඳු සහ කැළෑවල් සහිත ගමන් බිමන් පහසුව නැති දුෂ්කර සහ කටුක ගම්මාන විය. මිනිසුන් එම ඉඩම්වල වගා කළේ ඉතා අසීරුවෙනි. ඔවුන් ට මේවා අතහැර දමා යන්නට බැරි ය. එසේ යන්නට තැනක් ද නැත. එසේම ප්‍රවේනිදාසයන් බැවින් අතහැර දමා යාමටද නොහැකිය. කැළෑ හෙළි පෙහෙළි කර ඔවුහු හේන් වගා කළහ. අස්වැන්නෙන් කොටසක් බදුවලට ගෙවා ඉතිරි කොටසින් යැපුණහ.
මඩුවන්වෙල වලව්වගම්භාරලා බදු එකතු කරන්නට පැමිණි පසු සමහරුන්ට එසේ දෙන්නට යමක් නොවිණි. ඔවුන් ගේ දුක්ඛිත ජීවිත දෑසින් ම දකින ගම්භාරලා බොහෝ දෙනෙක් ඔවුනට අනුකම්පා කළහ. මඩුවන්වෙල දිසාවේ වලව්වේ උස් තැනක සිට බලා සිටින්නේ ගෙවල් කීයක් ගිනි ගන්නේදැයි දැක ගන්නට ය. ප්‍රවේනිදාසයන්ගේ නිවෙස්වල වටිනා කියන බඩු හෝ වෙනත් ගෘහ භාණ්ඩ ද නැත. උයා පිහාගෙන කන භාජන සහ පිඟන් කෝප්ප ටික, මිරිස් ගල, කුරහන් ගල ආදියත්, පැදුරු කොට්ට, ලී බංකුවක් දෙකක් හැරුණු විට ඔවුන් සන්තකයේ වෙනත් යමක් තිබුණේ නම් ඒ ඉතා අඩුවෙනි. මේවාට ගිනි තැබූ ගම්භාරලා නොසිටියේමයැයි කිව නොහැකි මුත් සමහර දෙනෙක් කළේ එවැනි අසරණයන්ගේ පැල්පත්වලට ගිනි නොතබා ඒ ආසන්නයේ පිදුරු වැනි දෑ ගොඩ ගසා ගින්නක් දල්වා ඒමයි. ඈත දුර සිට බලා හිඳින මඩුවන්වෙල රටේ මහත්තයාට කැලෑව අතරින් සහ කඳු අතරින් තැන් තැන්වලින් මතුවන දුම්රොටු මිස ඒ දැල්වෙන්නේ කුමක්ද යන්න පෙනෙන්නේ නැත. තැන් කීයකින් දුම් ඇවිලෙන්නේදැයි ගණන් බලන රටේ මහත්තයා එදින බදු නොගෙවූ පවුල් කීයක් තිබේදැයි නිගමනය කර ගනී. ගම්භාරලා කරන ලද මේ හොරය මඩුවන්වෙල දිසාවේ කිසිදා නොදැන හිඳින්නට ඇත.
හිටිගමන් මඩුවන්වෙල රටේ මහත්තයා වෙස් වලාගෙන තම පාළන ප්‍රදේශයේ තැන් තැන්වලට යන අවස්ථා ද නැත්තේ නොවේ. දිනක් වලව්වට ආසන්න දුරක මෙසේ වෙස් වලාගෙන නතර වී සිටියදී එතැන පියමන් කරමින් සිටියේ දුම්කොළ වෙළඳාමේ ගිය දෙදෙනෙකි."කොහෙද උඹලා යන්නේ?" රටේ මහත්තයා ඇසීය.
"බුංකොළ වෙළඳාමෙ යනවා" එකෙක් පිළිතුරු දී ඇත්තේ ඔලොක්කුවට ය.
තමා කවුදැයි හඳුනා නොගත් මේ කට වාචාලයා තමාට සරදමක් කළ බව වටහාගන්නට මඩුවන්වෙල රටේ මහත්තයාට නොහැකි වූවා නොවේ.
"වෙළඳාමේ ගිහින් ඇවිදලා ඇවිදලා මුන්නැහේලට මහන්සිත් නැතෑ දැන්. යමුකෝ එහෙනම් අපේ අහට කෑම ටිකක් කාලා යන්න" යනුවෙන් පවසා රටේ මහත්තයා වෙළඳුන් දෙදෙනාව වලව්වට කැඳවීය. ඔවුන්ට පළමුව කෑම දී ඉන්පසු තමාට කළ ඔලොක්කුවට දඬුවම් කරන්නට දිසාවේ සිතාගෙන ඉන්නට ඇත.
තමන්ට වැඩේ වැරදී ඇති බව ඔවුන්ට ද පසක් වන්නට ඇති මුත් දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැකිය.
රටේ මහත්තයාගේ වලව්වෙන් කෑම කා ආපසු එන්නට සූදානම් වනවිට ඔහු ඔවුන් දෙදෙනාව නතර කරවීය.
"දැන් පෙන්නුව නම් බලන්න තොපේ ඔය බුංකොළ "
රටේ මහත්තයා එලෙස පැවසූ විට එම පිළිතුර දුන් වෙළෙන්දා අන්දුන්කුන්දුන් විය. ඒ සමගම ඔහුට ගණ දෙවි නුවණ පහළ විය.
ඔහු පොට්ටනිය දිගහැර එහි ඔතාගෙන දමා තිබූ දුම්කොළ සීරුවට දිග හැරියේය. ඉන්පසු ඒවා ලොකු කුඩා වශයෙන් ගොඩවල් දෙකකට වෙන් කළේය.
"මේ තියෙන්නේ හාමුදුරුවනේ දුම්කොළ" එසේ කී ඔහු ප්‍රමාණයෙන් විශාල වූ දුම්කොළ ගොඩ රටේ මහත්තයාට පෙන්වීය.
ඉන්පසු ප්‍රමාණයෙන් කුඩා දුම්කොළ ගොඩ දක්වමින් "මේ තමයි හාමුදුරුවනේ බුංකොළ" යැයි පැවසුවේ අමුත්තක් නොපෙන්වමිනි.
වෙළෙන්දාගේ කීමට රැවටුණු රටේ මහත්තයාට එතැනින් එහාට කියන්නට යමක් නොතිබිණි.
"දැන් එහෙනම් පලෙයව්"
ඔහු වෙළඳුන් දෙදෙනා පන්නා ගත්තේය.

අතීතයේ එකගෙයි කෑම නම් විවාහ චාරිත්‍රය අපේ රටේ උඩරට ප්‍රදේශවල වඩාත් ප්‍රචලිත ව තිබිණි. එහිදී පවුලේ වැඩිමහල් පුතු තරුණියක් කැන්දාගෙන එන්නේ ඊළඟ පුතුටත් එක්කම ය. නීත්‍යානුකූලව විවාහ ලියාපදිංචි කිරීමක් සිදු නොවූ ඒ කාලයේ මෙසේ කළේ දේපළ පිටතට යාම වැළැක්වීමට ය.
මේ ආකාරයට සබරගමුව, දකුණ වැනි ප්‍රදේශවල පවුලේ සහෝදරියන් දෙදෙනෙකුට එක පිරිමියකු ගෙනා අවස්ථා තිබිණි. මේවා නෑණා මස්සිනාලා අතර බොහෝවිට ප්‍රචලිතව තිබූ බව කියති. කෙසේ වුවත් දෙමාපියන් තමන්ගේ වැඩිමහල් දියණිය මනාලයකුට දෙන්නේ ඊළඟ දියණිය ගැනත් හිතේ තියාගෙන බව කියති. මෙය අසල්වැසියන්, නෑදෑයන් කවුරුත් නොදන්නා රහසක් නොවේ. කලක් ගතවනවිට ඉබේම එම තරුණයා නැගණියව ද බිරිඳ කර ගනී. විශේෂයෙන් පළමු බිරිඳ මුල් දරුවා ප්‍රසූත කළ පසු ඇයට සාත්තු කරන්නට පැමිණෙන නැගණිය ඉන්පසු ඉබේම වාගේ ඔහුගේ බිරිඳ වෙයි. මෙම ස්වාමි පුරුෂයා ඉන්පසු බිරියන් දෙදෙනාවත්, ඔවුන් දෙදෙනාම තමන්ට දාව බිහි කරන දරුවනුත් රැකබලා ගනිමින් සියල්ලෝම එක ගෙදරක වාසය කරති. මෙය පරම්පරා තුනකට පමණ පෙර කොලොන්න කෝරළයේ ද පැවති අතර හැම පවුලක් ම මෙසේ කළ බවක් මින් අදහස් නොකෙරේ. මේවා ට කිසිවෙක් ගැරහුවේ නැත. පිළිකුල් කළේ ද නැත. එසේම මෑත යුගයේ ද එම චාරිත්‍රය අනුගමනය කළ අය ප්‍රදේශවල සිටියහ. මීට පරම්පරා දෙකකට පමණ පෙර සිටි එවැනි එක් ස්වාමි පුරුෂයකු ගේ බිරියන් දෙදෙනා ඔහුට දාව වැදූ දරුවන් සංඛ්‍යාව විස්ස ඉක්මවා තිබිණි. ඒ කාලයේ හේන් වගා කර ජීවත් වූ ජනයාට මෙවැනි පිරිසක් නඩත්තු කිරීම එතරම් ගැටලුවක් නොවීය. එසේම එකල සමාජය දරුවන්ට ඉහළට ඉගැන්වූයේ නැත. දරුවන් ද කුඩා කල පටන් හේන් කොටන්නට හුරු වූවා විනා ඉන් එහාට උගන්වන්නට හෝ ඉගෙන ගන්නට මේ කාටවත් අදහසක් නොතිබිණි.
ලබන සතියේ යළි හමු වෙමු.
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර ඇත්ගාල පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාට ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා








