leader s

වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රාළහාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල යනු මඩුවන්වෙල මහදිසාවේගේ සම්පූර්ණ නම ය.
 
වර්ෂ 1844 සැප්තැම්බර් 11 දා මඩුවන්වෙල වලව්වේදීම උපත ලැබූ ඔහු කුඩා කාලයේදී මව්පියන් මියගොස් තිබිණි. ළමා වියේදී ඔහු උපත ලද මඩුවන්වෙල වලව්ව, ඉන්පසුව පැවති විශාල මහ වලව්ව නොවේ. ඔහු උපත ලබන කාලයේ එය කුඩා වලව්වකි. මූලාශ්‍රවලට අනුව එහි මුල් ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ වර්ෂ 1700 දී පමණ ය. 1725 දී ස්ථිර ගොඩනැගිල්ලක් බවට පත්වී ඇත. එය තවත් අංග රාශියක් එකතු කොට පසුව පැවති තත්ත්වයට විශාල කර සකස් කොට ඇත්තේ මඩුවන්වෙල මහා දිසාවේ විසින් ඔහුගේ තරුණ වියේදී ය. කුඩා කාලයේදී ම දෙමව්පියන් මියගිය පසු ඔහු හදා වඩාගෙන තිබෙන්නේ බලංගොඩ විසූ ඔහුගේ මිත්තණිය විසිනි. එනම් පියාගේ මව ය. 
         
ඔහු අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. එහිදී ඉතා හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලද හෙයින් බ්‍රිතාන්‍ය නිලධාරීන් සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඔහුට තිබිණි. කන්ද උඩරට රජුගෙන් මෙන්ම පසුව මේ ර⁣ට පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුවෙන්ද ඔහුට විවිධ තාන්න මාන්න නිලතල ලැබිණ. නමුත් මඩුවන්වෙල දිසාවේ ඉංග්‍රීසින්ට හිස නැමුවේවත්, ඔවුන්ට ගැතිකම් කළේවත් නැත.
 
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතීතයේ
       
අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු ඔහු රාජ්‍ය සේවයට ඇතුළත් වී ලිපිකරුවකු ලෙස කලක් කටයුතු කර පසුව මඩුවන්වෙල ප්‍රදේශයේ පාලන කටයුතු භාර ගත් බව අප්‍රකට මූලාශ්‍රයක පැවතියද, බොහෝ දෙනෙකුගේ මතය වන්නේ අධ්‍යාපනයෙන් පසු මඩුවන්වෙලට පැමිණ ප්‍රාදේශීය පාලකයකු ලෙස පාලන කටයුතු භාරගත් බවයි.       
 
මඩුවන්වෙල මහ දිසාවේ ට මඩුවන්වෙල කළු කුමාරයා නමින් ආරූඪ නාමයක් ද තිබිණි. ඔහු තලෙලු පැහැයෙන් යුතු අයකු වූ නිසා එම නමින් ඇතමුන් හැඳින්වූ බව ප්‍රකට කරුණකි. ඒ බව තහවුරු වන සිද්ධියක් ද අනාවරණය කර ගත හැකි විය.
         
රක්වානේ සිට කොළඹ බලා යන ගමන ඒ කාලයේ අද මෙන් පහසු එකක් නොවීය. මහා මාර්ග වෙනුවට වංගු ගැසුණු කරත්ත පාරවල් සහ ඒවා අවසන් වූ තැන්වල පටු අඩිපාරවල්ද මිස කොළඹට යන්නට නිසි පාරක් නොතිබිණි. ගමන් බිමන් සඳහා දෝලාවන් මෙන්ම අශ්වයන් බැඳි කරත්තද භාවිත විය.
 
WhatsApp Image 2026 08 14 at 3.29.22 PMමඩුවන්වෙල වලව්ව
         
මඩුවන්වෙල මහ දිසාවේ කොළඹ බලා යන ගමනක දී රක්වානේ සිට ධාවනය වූ අශ්ව කරත්ත සේවය භාවිත කිරීමට පැමිණියේය. එහෙත් එදින කරත්තය ඒ වනවිටත් ජර්මනියෙන් පැමිණි කුමාරවරුන් පිරිසක් විසින් වෙන් කරගෙන තිබිණි. දිසාවේ කරත්තය පිළිබඳ විමසමින් සිටියදී, ඔහු කවුරුන්දැයි නොදත් එක් ජර්මන් කුමාරයෙක් ඔහු දෙස නොසැලකිලිමත් ලෙස බලා,
       
“අර කළු මිනිහාට කරත්තයට නගින්න ඉඩ දෙන්න එපා. අපි ජර්මනියේ කුමාරවරු. මේ කරත්තය අපි අප වෙනුවෙන් වෙන් කරගෙන තිබෙනවා.” යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පවසා ඇත. එහිදී ඔවුන් දිසාවේ වෙනුවෙන් යොදා ඇත්තේ black fellow (කළු මිනිහා) යන වදනයි. 
       WhatsApp Image 2026 08 14 at 3.25.48 PM 1
  
එම වචන දිසාවේට ඇසිණි. තමන් ඉංග්‍රීසි නොදන්නා සාමාන්‍ය ගැමියෙකු ලෙස මෙම තරුණයන් සිතා සිටින බව දිසාවේ වටහා ගත්තේය.
         
"If so I am the Black prince here. Called the Kalu kumaraya" 
         
(එසේ නම්, මෙහි සිටින Black Prince මමයි. මාව හඳුන්වන්නේ කළු කුමාරයා ලෙසයි)
         
මඩුවන්වෙල දිසාවේ ඉංග්‍රීසියෙන් පැවසූ විට ජර්මන් කුමාරවරු අන්දමන්ද වූහ.
         
දිසාවේ කිසිදු කලබලයකින් තොරව තම අයිතිය ප්‍රකාශ කළේය. අන් අයගේ වචනවලින් තම ගෞරවය අඩු කරගන්නා පුද්ගලයකු නොවූ ඔහු, තම නාමයටම ගැළපෙන අභිමානයකින් යුතුව එම කරත්තයට ගොඩවිය.
         
“කළු කුමාරයා” යන නාමය එදා ඔහුගේ සමේ පැහැය පමණක් නොව, ඔහුගේ නොනැමෙන පෞරුෂය හා ස්වාධීන චරිතයද සිහිගන්වන නාමයක් බවට පත්ව තිබිණි.
         
මඩුවන්වෙල දිසාවේගේ තේජවන්තභාවය හමුවේ ඉංග්‍රීසි ආණ්ඩුවද නැමුණු බව එම ඉතිහාසය පිරික්සා බැලීමේ දී පැහැදිලි කර ගත හැකිය. 
 
WhatsApp Image 2026 08 14 at 3.25.49 PMපැරණි කොළඹ
          
එක් උදාහරණයක් වන්නේ වර්තමාන දෙනියාය, රක්වාන මාර්ගය යි. එය කොලොන්න මඩුවන්වෙල හරහා කැපීමට ඉංග්‍රීසීන් විසින් යෝජනා කරන ලද අතර මඩුවන්වෙල දිසාවේ ඊට තදින්ම විරුද්ධ විය. ඔහුගේ විරුද්ධත්වය අභිබවා යාමට ඉංග්‍රීසි පාලකයන්ට ද ‍නොහැකි විණි.
         
උදෑසනම අවදි වී වලව්වේ කටයුතු ආරම්භ කිරීම මඩුවන්වෙල දිසාවේ ගේ පුරුද්ද ය. ඇත්, අස්, රිය සේනාව මෙන්ම දෝලාව පවා තිබියදී පයින් ගමන් කිරීමට ඔහු රුචියක් දැක්වූ බව කියවේ. දිසාවේට ආයුධ සන්නද්ධ සේවක බලඇණියක් සිටියහ. මඩුවන්වෙල දිසාවේ ප්‍රාදේශීය පාලකයකු ලෙස සිය කලාපයේ තමන් යටතේ සිටි සියලු වැසියන්ට එක සේ සැලකූ බව අදටත් එහි පැරැන්නෝ පවසති. සිංහල අලුත් අවුරුද්ද වැනි දිනයන්හි දී සියලු ගම්වාසීන්ට තෑගිභෝග පිරිනැමීමට තරම් ඔහු ත්‍යාගශීලී වූ බවද පැවසේ.           
 
මඩුවන්වෙල මහ දිසාවේ මුලින්ම විවාහ කර ගත්තේ එක්නැලිගොඩ කුමාරිහාමිව ය. මේ විවාහයෙන් ඔවුන්ට එක් දියණියක ලැබිණි. ඇය ඩිංගිරි නම් විය. ඩිංගිරි අප්පෝ උපතින්ම ආබාධිත දැරියකි. ඇගේ තුනටියෙන් පහළ අප්‍රාණික බව කියැවේ. මේ නිසාම ගම්මුන් ඇයව සෙකර මැණිකේ (කොර මැණිකේ) නමින්ද හඳුන්වා තිබිණි. එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගියේ මෙම දරු ප්‍රසූතියේ දී බව ද සඳහන් ය.  
kumarihamiකලවානේ කුමාරිහාමි සහ දිසාවේ
       
ඉන්පසු මඩුවන්වෙල මහ දිසාවේ තවත් කුමාරිහාමි කෙනෙකුව විවාහ කර ගත්තේය. කලවානේ කුමාරිහාමි නම්වූ ඇය මහ දිසාවේට ඥාතිත්වයක් තිබූ අයෙකි.  
 
දෙවෙනි විවාහයක් කර ගැනීමේදී මහ දිසාවේට අවශ්‍ය වූයේ තමන්ට සේම දියණියටත් ආදරය කළ හැකි කාන්තාවකි. මෙම විවාහයට පෙර තම දියණියට ආදරය කළ හැකි කාන්තාවකට මල් මාලය පළඳවා මෙකී පිළිගැනීම කරන්නට මහ දිසාවේ කටයුතු කර තිබිණි. මෙසේ දෙවන වරට විවාහ කරගත් කලවානේ කුමාරිහාමි මහත් භක්තියෙන් යුතුව සිය යුතුකම් සහ වගකීම් ස්වාමියාත් දරුවාත් කෙරෙහි ඉටු කළ බව කියැවේ. කලවානේ කුමාරිහාමිට දරුවකු බිහි වුණේ නැත. කාලයකට පසු ඇය මහ දිසාවට පෙර මිය ගොස් තිබේ.   
 
තවත් කොටසක් ලබන සතියේ 
 
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත්, බුළුතොට විජේරිය සුමන ජාතික පාසලේ ඉතිහාස ආචාර්ය ධර්ම ශ්‍රී නිශ්ශංක මහතාටත් ස්තුතියි.
 
ඡායාරූප - අන්තර්ජාලය
 
 

සටහන : ඉන්දු පෙරේරා

 

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්